සඳ ගමනට නික්මී වසර 50යි

මිනිසා සඳ මත පා තැබීම සඳහා ඇපලෝ එකොළහ යානය අභ්‍යවකාශ ගත කර අදට වසර 50 ක් සපිරෙනවා.

1969 වසරේ ජූලි 16 වනදා ගගනගාමීන් 3 දෙනෙකු රැගත් ඇපලෝ එකොළහ යානය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළා. නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ් රින් යන ගගනගාමීන් මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා එක්ව සිටියා. පළමුවෙන්ම සඳ මත පා තැබූ මිනිසා ලෙස ඉහිහාස ගත වන්නේ ගගනගාමි නිල් ආම්ස්ට්‍රෝන්. ඒ 1969 වසරේ ජූලි 21 වනදායි. සඳ මත ඇමෙරිකා ධජය තැන්පත් කළ නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කළේ මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණක් වුවත් මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත් පිම්මක් වනු ඇති බවයි. සඳ මත සිහිවටන පුවරුවක් සවි කිරීමට ද ඔවුන් කටයුතු කළා. 1969 වසරේ ජූලි 24 වනදා පැයට සැතපුම් විසිහතර දහස් හයසිය හතළිස් එකක වේගයෙන් ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණියා. එදා සිට අද වන තුරු මිනිසුන් 12 දෙනෙකු සඳ මත පා තබා තිබෙනවා. අවසන් වරට මිනිසෙකු සද මත පා තැබුවේ 1972 වසරේ අභ්‍යවකාශ ගත වූ ඇපලෝ 17 යානයෙනි.