ඇමති රංජන්ට එරෙහිව රාවණා බලය පොලිසි යයි

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකළ සංඝයා වහන්සේ සම්බන්ධ ප්‍රකාශයට එරෙහිව දැඩි පියවර ගන්නා බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.
අද පොලිස් මූලස්ථානයට පැමිණ උන්වහන්සේ කියා සිටියේ අදාළ ප්‍රකාශ පිළිබද විමර්ෂණ ඇරඹීමට පොලිසියට දින 2ක් ලබාදෙන බවයි.

“මෙම පුද්ගලයා හාමුදුරුවරුන්ට දිගින් දිගටම ගහන්න ගියොත් සංඝ සමාජය ඉවර වෙනවා. එතකොට මේ සංඝ සමාජයට ළමයි දෙන්න දෙමවුපියෝ අකමැති වෙනවා.එතකොට සංඝ සමාජයට භාරදුන් ළමයි දිහා බලන්නේ වපර ඇහින්.අපිට නායක හාමුදුරුවරුන්ගේ මූණ බලන්න බැරි වෙනවා. මේ පුද්ගලයා මේ කරන්නේ ශාසනයට ගහන එක. මේච්චර ගහද්දිත් පොලිස් නිලධාරින් බෞද්ධයෝ වෙලත් බලා ඉන්නේ ඇයි? ඇයි මෙහෙම කල් මරන්නේ. සතිගණන් ගන්නැතිව දවස් දෙකෙන් මේක කරන්න ඕන“යනුවෙන් උන්වහන්සේ පවසා සිටියහ.

සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි, සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ ප්‍රඤ්ඤාලෝක හිමි ඇතුළු  භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට වැඩම කර සිටියහ.

මෙම අවස්ථාවට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාට විරුද්ධව ලැබී ඇති  පැමිණිලි සම්බන්ධව අනිවාර්යයෙන්ම විමර්ශනයක් සිදු කරන බවයි.