වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණෙන් මුහුදු නොයන්නැයි ඉල්ලීමක්

නැවත දැනුම් දෙන තුරු එක් දින යාත්‍රා වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය තුල අධික සුළං තත්ත්වයට සහ මුහුදු රළට හසුවෙමින් ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටි ධීවර යාත්‍රා 20 ක් මේ වන මාලදිවයිනට සේන්දු වී ඇති අතර ඔවුන්ට ඒ සදහා අවසරයද ලබාදී තිබුණා.

ධීවරයින්ට දැනුම්දී තිබුණේ, යාත්‍රා කිරීමේ අපහසු තත්ත්වය තුළ ධීවර යාත්‍රා ලගම හෝ පහසුවෙන් ළඟා විය හැක ගොඩබිමකට සේන්දු කරණ ලෙසයි.

ධීවර යාත්‍රා සමග ගුවන් සන්නිවේදන සබන්ධතා පවත්වාගනිමින් තොරතුරු ලබා ගැනීමට ද ධීවර දෙපාර්තමේන්තුව ඊයේ සිට කටයුතු කරමින් සිටින බව සදහන්.

දිවයින හරහා සහ දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අධික වර්ෂාවත් සමග ප්‍රදේශ තුනකට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශය පියවර ගෙන තිඛෙනවා.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, නුවරඑළිය කොත්මලේ ප්‍රදේශයට සහ මහනුවර උඩපලාත යන ප්‍රදේශවලට එලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

රත්නපුර, නුවරඑළිය කෑගල්ල, මහනුවර ,කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.