හේමසිරිට පූජිතට ඇප දීමට එරෙහි පෙත්සම හෙට කැදවයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා තිබෙන  පොලිස්පති පූජිත් ජයසුන්දර  යන දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සහ ඉන් ජීවිත හා දේපල හානි වළක්වා ගැනීමට කටයුතු ‍නොකරමින් අපරික්ෂාකාරීව රාජකාරි යුතුකම් පැහැරහැරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මෙහි පළමු සැකකරුවන හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියා. දෙවන සැකකරු වන පූජිත් ජයසුන්දරගෙන්ද අවස්ථා දෙකකදී ප්‍රකාශ  සටහන් කරගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. අද දිනයේද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පැසුවා. දෙවන සැකකරුගේ නීතීඥවරයා මෙහිදී කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මඟින් තම සේවාදායකයාට අගතියක් සිදුව ඇති බවයි. ඒ පිළිබඳ තමාට අවබෝධක් නැති බවත් නීතිපතිගේ අවධානය ඒ සඳහා යොමු කරවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔක්තෝම්බර් 03 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළා.

මේ අතර සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොණුකළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණයේදී හෙට කැඳවීමට නියමිතයි.