කෝකටත් තෛලය ඡන්ද හිමි නාමලේඛනය

එක් වරදකට එක් අයකුට දඬුවම් කළ හැක්කේ එක් වතාවකදී පමණක් බව ස්වභාවික යුක්ති මූල ධර්ම යටතේ සඳහන්ය. යම් අයකු බරපතළ ගණයේ අපරාධයක් සිදුකර බන්ධනාගාරගත වුවහොත් ඔහුගේ නම බන්ධනගාරගතව සිටින තෙක් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කරන්නේ නැත. අවුරුදු දෙකකට වැඩි කාලයක සිර දඬුවමක් නියම වුවහොත් නිදහස්ව පැමිණ අවුරුදු 07 ක් යන තෙක් ඔහුගේ නම ලියාපදිංචි නොකළ යුතු බව පනතේ දක්වා තිබේ. පියා කළ වරදට ඔහුගේ දරුවාට පාසල අහිමි වීමට මෙය හේතු වෙයි. පියා කළ වරදට එක් පැත්තකින් දරුවාද දඬුවම් විඳින තත්ත්වයක් මේ තුළ නිර්මාණය වෙයි.ඡන්ද ප්‍රතිශෝධන ලේඛනය ඉතා ගැටලුසහගත තත්ත්වයකට පත්ව තිබෙන්නේ මෙවැනි පාදක කරුණු හේතුවෙනි.

වලංගු ඡන්ද හිමි නාම ලේඛනය යනු කෙනකුගේ ඡන්ද අයිතිය තීරණය කෙරෙන තීරණාත්මක ලේඛනයයි. ලේඛනය සකස් කිරීමේ ක්‍රියාවලිය සෑම වසරකම ජූනි මස 01 දින ආරම්භ වෙයි. මෙය 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත මගින් නිශ්චය කර තිබේ. ව්‍යවස්ථාපිත කාර්යයක් වන මේ සඳහා පාදක කර ගනු ලබන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කළ අණ පනත්ය. අණ පනතක් සමඟ කටයුතු කිරීමේදී පහසුවක් මෙන්ම අවදානමක්ද පවතී. සෑම ඡන්දයකදීම භාවිත කෙරෙන්නේ පනතකි. ජනපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ආදිය ඊට උදාහරණ වේ. මේවා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අණ පනත්ය.

මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් තිබේ.මැතිවරණ කොට්ඨාස ලෙස හඳුන්වන්නේ අප විසින් නිශ්චය කර තිබෙන බල ප්‍රදේශ 22 කි. පරිපාලන දිස්ත්‍රික්කය යනු මැතිවරණ කොට්ඨාසය නොවන අතර මහනුවරදී පරිපාලන දිස්ත්‍රික්කය හා මැතිවරණ කොට්ඨාසය සමපාත වෙයි. එසේ වුවත් වන්නි මැතිවරණ කොට්ඨාසයේ පරිපාලන දිස්ත්‍රික්ක තුනක් ඇති අතර වවුනියාව, මුලතිව් හා වන්නි ලෙස ඒවා බෙදා වෙන් කර තිබේ. යාපනය මැතිවරණ කොට්ඨාසයේ පරිපාලන දිස්ත්‍රික්ක දෙක වන්නේ යාපනය හා කිලිනොච්චියයි. මේ අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 25 ක් වන අතර මැතිවරණ කොට්ඨාස ගණන 22ක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.

පසුගිය වසරේ ඡන්දදායකයින් ලියාපදිංචි ලේඛනයට අනුව සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 15292950 කි.පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 ක් තිබුණද ඉන් මැතිවරණයකින් තෝරා ගනු ලබන්නේ 196 දෙනෙක් පමණි. ඉතිරිය තෝරා ගනු ලබන්නේ ජාතික ලැයිස්තුවෙනි. මෙම මන්ත්‍රී ධුර 196 මැතිවරණ කොට්ඨාස 22 ක් අතර සමසේ බෙදී යන්නේ නැත. සෑම මැතිවරණ කොට්ඨාසයකටම මෙම මන්ත්‍රී ධුර 196 බෙදී යායුතුය. සමානුපාතික නියෝජන ක්‍රමයේදී සිදු වන්නේ ලියාපදිංචි සමස්ත ඡන්ද දායක සංඛ්‍යාවට ඒ ඒ දිස්ත්‍රිකකයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව දරන අනුපාතයට අනුව මෙම මන්ත්‍රී ධුර 196 බෙදී යාමය.

ප්‍රතිශෝධනයේ වැදගත්කම

2009 යුද්ධය අවසන් වූ විගස එතෙක් යාපනය දිස්ත්‍රික්කයට හිමිව තිබූ මන්ත්‍රී ධුර නවය හයක් බවට පත් විය. දේශපාලන පක්ෂ විසින් එවකට සිටි මැතිවරණ කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා කරනු ලැබීය. එය ඔහු විසින් කළ දෙයක් නොව ගණනය කිරීමේදී ලැබෙන උත්තරයකි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව මහනුවරට මන්ත්‍රී ධුර 12 ක් ලැබී තිබේ. ඡන්දය ලබා දීමට සුදුසුකම් සපිරූ සියලු දෙනාම දිස්ත්‍රික් නාම ලේඛනයට ඇතුළත් නොවුණහොත් එම දිස්ත්‍රික්කයට නිශ්චිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩු වීමට පුළුවන. ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම ඉතාමක් වැදගත් බව කොමිෂන් සභාව අවධාරණය කරමින් කියා සිටින්නේ මේ නිසාය. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් ඡන්ද හිමි නාම ලේඛන ක්‍රියාවලිය ඉතාමත්ම නිවැරදිව හා දක්වා ඇති අවශ්‍යතා සපුරමින් සිදු කළ යුතුය. එසේ වීමට නම් සුදුසුකම් ලත් සියලු දෙනා ඊට ඇතුළත් වීම අනිවාර්ය වෙයි. එමෙන්ම සුදුසුකම් නොලත් පිරිස් ඇතුළත් වීමෙන්ද සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියකි. සුදුසුකම් නොලත් පිරිස් ඇතුළත්ව දිස්ත්‍රික්කයකට වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමි වන්නේ වෙනත් දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුර අඩු වීමෙනි.

ප්‍රතිශෝධන ක්‍රියාවලිය ඉතාමත් තීරණාත්මක මෙන්ම ඉතාමත් වැදගත් වන්නේ මේ හේතුවෙනි. මෙරට ඡන්ද කොට්ඨාස තිබෙන්නේ 11,585 කි. ග්‍රාම නිලධාරී වසම්වලට වඩා ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව අඩුය. ග්‍රාම නිලධාරී වසම් හා ඡන්ද කොට්ඨාස සමපාත නොවන බව මින් පැහැදිලිය. ඡන්ද කොට්ඨාසයක් ගොඩනැඟෙන නිර්නායකය වන්නේ ඒ ඒ ඡන්ද කොට්ඨාසයේ පදිංචිව සිටින ඡන්ද හිමියන්ට වඩා පහසුවෙන් ඡන්ද පොළකට යා හැකි වීමය. පනතට අනුව සාමාන්‍යයෙන් ඡන්ද කොට්ඨාසයක සිටිය යුත්තේ ඡන්ද දායකයින් 1500 කි. මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13 කි. ඡන්ද කොට්ඨාස 825 ක් තිබේ. ඉන් අදහස් කරන්නේ ඡන්ද මධ්‍යස්ථාන 825 ක් මෙහි ක්‍රියාත්මක වන බවයි.

නඩු යෑමේ හැකියාව

ඡන්ද මධ්‍යස්ථාන 11,585 න් එකකට ඡන්දය දැමීමට ගියහොත් වම් අතේ සුළැඟිල්ල පාට කරනු ලබයි. එයද පනතට අනුව සිදු වන්නකි. ව්‍යවස්ථාපිත පනතක ගතික ලක්ෂණය එයයි. තිස් වසරක් පුරා යුද්ධයක් පැවැති රටක අත්පා නොමැති රණවිරුවන් මෙන්ම එවැනි තවත් විශාල සංඛ්‍යාවක් සිටිති. වම් අතේ සුළැඟිල්ල නොමැති නම් එම අතේ සුළැඟිල්ල අසලින් ඇති ඊළඟ ඇඟිල්ල ඒ සඳහා යොදා ගත යුතුය. මේ ආකාරයෙන් වම් අතෙන් පසු දකුණු අතේ සුළැඟිල්ලේ සිට මහපට ඇඟිල්ල දක්වා පැමිණෙයි. ඉන් එහාට නීතිය නිහඬය. ව්‍යවස්ථාපිත කාරණයක වැදගත් කාරණය වන්නේ විය හැකි සියලු දේ ගැන සිතා පනත් සකස් කිරීමය. පනත මේ සම්බන්ධව අර්ථ දක්වා නැත්නම් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට අභිමතයක් කළ හැකිය.

හිමිකම් විරෝධතා කාලසීමාවේදී හිමිකම් ඉල්ලා සිටිනු ලබන පුද්ගලයකු සම්බන්ධයෙන් හිමිකම් පරීක්ෂණයක් සිදු කරනු ලබන්නේ ලියාපදිංචි කිරීමේ නිලධාරියකු විසිනි.එහිදී ලබා දෙන තීරණයට හිමිකම් ඉල්ලූ අය එකඟ නොවන්නේ නම් ඔහුට දින 10 ක් ඇතුළත දිසා අධිකරණයේ නඩුවක් පැවරිය හැකිය. මේ ආකාරයෙන් පනත මගින් අධිකරණය නිශ්චය කර තිබෙන සේම දින ගණනද නිශ්චය කර තිබේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය තුළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට, රාජ්‍ය සේවා කොමිසමට, ආයතන ප්‍රධානියාට හෝ විනය බලධාරියාට එහා ගිය තැනකට ගොස් මෙම කාර්ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබයි. අධිකරණයකදී නිලධාරියකුට ලබා දෙන දඬුවම සිරගතවීමක්ද විය හැකිය. අධිකරණය මගින් වරදකරුවකු වන නිලධාරීයකුට දඩය හෝ බන්ධනාගාරගත කිරීම, නැතහොත් ඒ දෙකටම යටත්වීමට සිදුවෙයි. ව්‍යවස්ථාපිත කාර්යයන් සිදු කිරීම පනත මගින්ම පහසු කර තිබේ. කළ යුතු සියල්ල නිශ්චිතව දක්වා ඇත. එහි අවදානමක්ද පවතී. පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කළ හොත් අධිකරණයේදී අභියෝගයට ලක් වීමට සිදු වෙයි. මේ නිසා ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව කරන්නට මැතිවරණ කොමිෂම නිරන්තරව කැපවෙයි. පනතට අනුව ජූනි මස 01 සුදුසුකම් ලැබීමේ දිනය ලෙස නම්කර තිබෙන අතර සියලු සුදුසුකම් ලාභීන් ඇතුළත් කර ගන්නා අතරතුර නුසුදුසු පුද්ගලයින් ලියාපදිංචි නොකිරීම නිලධාරීන්ගේ වගකීමකි.

ඡන්දහිමියකු ලෙස පුද්ගලයකු ලියාපදිංචි වීමට නම් ඔහු හෝ ඇය ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය. ශ්‍රී ලංකාව 2015 න් පසු ද්විත්ව පුරවැසිභාවය නඩත්තු කරන රටකි. විදේශිකයකු ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කරනු ලබන්නේ ඔහු මෙරට පුරවැසියකු නම් පමණි. වර්ෂ 2015 ට පෙර විදේශිකයකු මෙරට පුරවැසිභාවය ලබා ගන්නේ නම් ඔහු විදේශීය පුරවැසිභාවය අත්හළ යුතුය. ශ්‍රී ලාංකිකයකු විදේශ රටක පුරවැසිභාවය ගත හොත් ඔහු සතු ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉබේම අහෝසි වී යයි. ද්විත්ව පුරවැසිභාවය නමැති සංකල්පය හඳුන්වාදීමෙන් පසු තමන්ගේ මුල් පුරවැසිභාවය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් වෙනත් රටක පුරවැසිභාවය මුදල් ගෙවමින් පවත්වාගෙන යාමේ හැකියාව ඇත. මේ නිසා ඔවුන්ට ඡන්ද අයිතිය නැති වී නොයයි.

පදිංචිය සහ ලිපිනය

ජූනි මස 01 වන විට අවුරුදු 18 සම්පූර්ණව සිටින අයට 2019 ප්‍රතිශෝධනයේදී ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි විය හැකිය. මේ අයට යම් ලිපිනයක සාමාන්‍ය හෝ ස්ථිර පදිංචියක් තිබිය යුතුය. බස් නැවතුම්පොළවල ජීවිතය ගත කරන යාචකයින්ගේ නම් මෙයට ඇතුළත් කර නොගනී. ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ඔහුට අවුරුදු 18 සම්පූර්ණ වී ඇත. ඔහු අධිකරණයක දී වරදකරුවකු ලෙස නම් කර ද නොමැත. සියල්ල සපුරා තිබියදී ඔහුගේ නම ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි නොකරන්නේ ඔහුට සාමාන්‍ය හෝ ස්ථිර පදිංචියක් සහිත ලිපිනයක් නොමැති නිසාය. එම පුද්ගලයාගේ නම බස් නැවතුමට ලියාපදිංචි කිරීමේ හැකියාව ඇතත් ඔහුට නිල ඡන්ද පත්‍රිකාව යැවීමේ හැකියාවක් නොමැත.

ඉන්දියාවේ මැතිවරණ කොමිෂන් සභාව නීතිය උත්පාදනය කරන ආයතනයක් ලෙස සලකයි. මෙරට ජනගහණයට සමාන ජනතාවක් ඉන්දියාවේ දිල්ලියේ සිටිති. ඒ අතර ස්ථිර වාසස්ථාන නොමැති සැලකිය යුතු පිරිසක් සිටිති. වාසස්ථානයක් නොමැති වුවත් ඡන්දයට ලියාපදිංචි වීමට හැකියාව ඉන්දියාවේ ඇත. ස්ථිර වාසස්ථාන නොමැති අති විශාල පිරිසක් ඉන්දියාවේ සිටිති. සංඛ්‍යාත්මකව මෙම පිරිස අති විශාල වීම නිසා ඔවුන්ගේ ඡන්දය මැතිවරණ ප්‍රතිඵලයකට බලපෑම් කරන්නට තරම් ප්‍රබලය. වාසස්ථානයක් නොමැති අය පදිංචිව සිටින්නේ පාලමක් හෝ විදුලි කණුවක් යටද, රජයේ ආයතනයක අඟුපිලකද, බස් නැවතුමක ද යන්න නොසලකා ඉන්දියානු මැතිවරණ කොමිසම ඔවුන්ට ඡන්ද අයිතිය ලබා දීමට පියවර ගෙන තිබේ. ස්ථිර හෝ සාමාන්‍ය පදිංචියක් නොමැති පිරිස සංඛ්‍යාත්මකව අඩු නිසා මෙරට එවැනි ලියාපදිංචි කිරීමක් සිදු කෙරෙන්නේ නැත.

වසරේ වැඩි කාලයක් නිවෙසක ඉන්නා විට එය සලකන්නේ ස්ථිර පදිංචියක් ලෙසය. වසරේ වැඩි කාලයක් ලිපිනය දරන නිවෙසේ පදිංචි නැති විටෙක එය සාමාන්‍ය පදිංචියක් ලෙස සලකයි. කෙනකු තමන්ට පැවරී ඇති රාජකාරිය හේතුවෙන් එම ස්ථානයේ නොසිටියහොත් ගණන් ගන්නා නිලධාරීන්ට ඔවුන් ලියාපදිංචි නොකර සිටීමට නොපුළුවන. මුලින් මේ අය අදාළ ලිපිනයේ නැත්තේ මන්දැයි විමසා බැලිය යුතුය. නිවාඩුවක් ලද විගස මොවුන් මෙම ස්ථානයටද පැමිණේද යන කාරණ ගැන අවධානය යොමු කිරීම මෙහිදී සිදුකෙරෙයි. එසේ වන්නේ නම් ඔහුට ලියාපදිංචිය ලබාදිය යුතුය. පනතට අනුව බහු ලියාපදිංචිය වරදකි. ලියාපදිංචි වීමට අවස්ථා දෙකක් තිබුණත් ඒ දෙකම තෝරා ගත නොහැකිය. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අල්ලස් ගැනීම්, ත්‍රස්ත ක්‍රියා, අධිකරණයට අපහාස කිරීම වැනි වරදකට දඬුවම් නියමව

මාස හයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගත කළ හොත් එම පුද්ගලයා බන්ධනාගාරගතව සිටින තෙක් ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කරන්නේ නැත. ඔහු දණ්ඩනය අවසන් කර නිදහස ලැබ පැමිණ අවුරුදු හතක් යන තුරු එය එලෙසින්ම ක්‍රියාත්මක වෙයි. බරපතළ ගණයේ අපරාධයක දී වුවද මාස හයකට වඩා අඩු සිර දඬුවමක් අධිකරණය යම් අයකුට ලබාදුන හොත් ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව ඔහුට අහිමි වන්නේ නැත.

එස්.බී. දිසානයක මහතා බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඔහුගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් වූයේ නැත. ඔහු නිදහස ලබන්නේ ජනපති පොදු සමාව යටතේය. පහළ අධිකරණයකින් යම් පුද්ගලයකු වරදකරුවෙක් ලෙස තීන්දු කළ අවස්ථාවක එම පුද්ගලයාට ඉහළ අධිකරණයට ගොස් එම තීන්දුව අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබේ. එවැනි අවස්ථාවක ඉහළ අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කිරීමට පුළුවන. එයට අමතරව මෙරට ව්‍යවස්ථාවට අනුව අධිකරණය මගින් දණ්ඩනයට ලක්කළ අයකු නිදොස් කොට නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනපතිටය. සරත් ෆොන්සේකා මහතා බන්ධානාගාරගතව සිට නිදහස් ලැබීමෙන් පසු ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවේ පුද්ගලයකු එයට විරෝධයක් දක්වමින් දන්වා සිටියේ, ජනපති ඔහුට ප්‍රදානය කර ඇත්තේ පූර්ණ සමාවක් නොවන බැවින් එය කළ නොහැකි බවයි. නීතිපති විමසා ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී අදාළ කරුණු සත්‍යයක් බව පැහැදිලි විය. මින් පෙනී යන්නේ ජනපතිට පුද්ගලයකු නිදොස් කොට නිදහස් කිරීමට මෙන්ම නිදහස් කිරීම පමණක් ද කළ හැකි බවයි. ෆොන්සේකා මහතා වත්මන් ජනපති විසින් නිදොස් කොට නිදහස් කිරීමත් සමඟ ඔහුට ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව ලැබිණි.

අවතැන් ජනතාව

මෙවර ඡන්ද හිමියන් ලියාපදිංචි ලේඛනය ඔක්තෝම්බර් මස 31දින සහතික කිරීමට නියමිතය. ප්‍රධාන නාම ලේඛනය සහතික කිරීමෙන් පමණක් මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වන්නේ නැත. යුද්ධය අවසන් වීමෙන් පසු වර්ෂ 2009 දී පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරමින් අවතැන් වූ ජනතාවට දැනට ඔවුන් සිටින දිස්ත්‍රික්කයේ නොමැතිව පූර්වයෙන් සිටි ස්ථානයේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී තිබේ. යුද්ධය පැවැති කාලසීමාවේදී මුලින් පදිංචිව සිටි දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකට පැමිණ පදිංචිව සිටින අයට මේ අවස්ථාව හිමි වෙයි. එවැනි ජනතාවට සති තුනක කාලසීමාවක් තුළ දැනට ඔවුන් ඉන්නා තැන ලියාපදිංචි නොවී පෙර සිටි ස්ථානයේ ලියාපදිංචි වීමට පුළුවන. මෙම ලේඛනය පරිපූර්ක නාම ලේඛනය ලෙස හැඳින්වෙයි. ප්‍රධාන නාම ලේඛනය සහතික කිරීමෙන් අනතුරුව 2009 න් පසු ඇති වූ සංශෝධනයත් සමඟ සම්පූර්ණ ලේඛනය සහතික කිරීමට තවත් සති තුනක කාලයක් ගත වෙයි. මේ නිසා 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ අවසන් පරිපූර්ක නාම ලේඛනය සහතික කිරීම 2019 නොවැම්බර් 22 දින සිදු කෙරෙනු ඇත. මෙවර සහතික කරන ඡන්ද හිමි නාම ලේඛනය වලංගු වන්නේ එදායින් පසු පැවැත්වෙන මැතිවරණ වලට පමණි. ඊට පූර්වයෙන් කැඳවන මැතිවරණ වලට වලංගු නාම ලේඛනය වන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනයයි.

පුද්ගල දත්ත පද්ධතියක් මෙරට නොමැති වීම විශාල අඩුපාඩුවකි. ඇතැම් රටවල අවුරුදු 18 සම්පූර්ණ මොහොතේ ඔහු හෝ ඇය නිරායාසයෙන්ම ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක් පවතී. තායිලන්තය වැනි රටක උපන් මොහොතේම හැඳුනුම්පත් අංකයක් දරුවාට ලබා දෙයි. මෙරට ජාතික හැඳුනුම්පතට විද්‍යාත්මක තොරතුරු ඇතුළත් කිරීමට ගිය අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ විශාල කතිකාවක් ඇති වුයේ එය නොකරන ලෙස ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලීම හේතුවෙනි. තායිලන්තයේ ලබාදෙන හැඳුනුම්පතේ අදාළ පුද්ගලයාගේ රුධිර වර්ගය පවා ඇතුළත්ව තිබේ. එහි පුද්ගලයකුට හැඳුනුම්පත හැදෙන්නේ කුඩා කාලේදීමය. මැතිවරණ කොමිෂන් සභාවෙන් වයස 18 සම්පූර්ණ වූ විගස ඔබ ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත යනුවෙන් දක්වා අදාළ පුද්ගලයාට ලිපියක් යොමු කරයි. 1977 ට පෙර මෙරට ගෘහ ලැයිස්තුවක් ක්‍රියාත්මක විණි. හාල් පොත අහෝසි වීමත් සමඟ මේ දත්ත පද්ධතිය ද අහෝසි වී ගියේය. රජය, රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් ජාතික ප්‍රජාව ඇතුළු සියලු දෙනා තමුන්ට අදාළ සංඛ්‍යා සටහන් තොරතුරු වර්තමානයේ ලබා ගන්නේ ඡන්ද හිමි නාම ලේඛනය පාදක කර ගෙනය. පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේදී පදිංචිය සහතික කර ගන්නේද මේ මගිනි.

අපරාධය සහ දඬුවම

නාම ලේඛනයේ වසර පහක කාලයක් අඛන්ඩව ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි ව සිටීම ආසන්න පදිංචිය යටතේ පාසලකට දරුවකු ඇතුළු කරන අවස්ථාවක ඉහළම ලකුණු ලැබීමට හේතුවකි. එක් වරදකට එක් අයකුට දඬුවම් කළ හැක්කේ එක් වතාවකදී පමණක් බව ස්වභාවික යුක්ති මූල ධර්ම යටතේ සඳහන්ය. යම් අයකු බරපතළ ගණයේ අපරාධයක් සිදුකර බන්ධනාගාරගත වුවහොත් ඔහුගේ නම බන්ධනගාරගතව සිටින තෙක් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කරන්නේ නැත. අවුරුදු දෙකකට වැඩි කාලයක සිර දඬුවමක් නියම වුවහොත් නිදහස්ව පැමිණ අවුරුදු 07 ක් යන තෙක් ඔහුගේ නම ලියාපදිංචි නොකළ යුතු බව පනතේ දක්වා තිබේ. පියා කළ වරදට ඔහුගේ දරුවාට පාසල අහිමි වීමට මෙය හේතු වෙයි. පියා කළ වරදට එක් පැත්තකින් දරුවාද දඬුවම් විඳින තත්ත්වයක් මේ තුළ නිර්මාණය වෙයි.ඡන්ද ප්‍රතිශෝධන ලේඛනය ඉතා ගැටලු සහගත තත්ත්වයකට පත්ව තිබෙන්නේ මෙවැනි පාදක කරුණු හේතුවෙනි.

වසරේ සෑම කාර්තුවකදීම අවුැරුදු 18 සම්පූර්ණ වූ අයගේ පරිපූරක ලැයිස්තුවක් සහතික කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. සෑම වසරකම ජූනි මස 01 දින ආරම්භ කෙරෙන ඡන්ද හිමියන් ලියාපදිංචිය සඳහා ඇතුළත් කර ගනු ලබන්නේ එම වසරේ මැයි 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයයි. අදාළ ක්‍රියාවලිය යළිත් වසරක කාලයකින් ආරම්භ වෙන බැවින් ජූනි 01 දාට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයට එම වසරේ හා එළඹෙන වසරේ පැවැත්වෙන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවකාශ ලැබෙන්නේ නැත. තරුණයින් සාම්ප්‍රදායික මත අනුව ඡන්දය පාවිච්චි නොකරන නිසා ඔවුන්ගේ ඡන්ද මැතිවරණයකදී ඉතා වැදගත්ය. 2015 ජනපතිවරණයේදී තරුණ ඡන්දවල බලපෑම පැහැදිලිව දක්නට ලැබිණි. මේ නිසා තරුණ ඡන්දවලට අවස්ථාවක් දිය යුතුයි කියන ස්ථාවරයට කොමිෂන් සභාව පැමිණ තිබේ.මේ අනුව ලබන වසරේ සිට සෑම කාර්තුවකදීම නාම ලේඛනයක් සහතික කිරීමට නියමිතය.

අසේල කුරුළුවංශ