වෛද්‍ය සාෆිගේ නඩුවේ මහේස්ත්‍රාත් ගැන විමර්ෂණයක්

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි මොහොමඩ් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පවත්වන කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අදාළව අධිකරණ සේවා කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

මෙම අධිකරණ කටයුතු සිදුකරන කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ පරීක්ෂණයක් ඉල්ලා අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පොලිස්පතිවරයාද දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාෆි මොහොමඩ් වෛද්‍යවරයාගේ පරීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් පසු මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි සදහන්.

පසුගිය ජුනි පස 21 වැනි දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩුව කැඳවු අවස්ථාවේදි නඩුවට සම්බන්ධ පාර්ශ්වයේ නොවන කුරුණැගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක සරත් විජේබණ්ඩාර මහතාට විවෘත අධිකරණය තුළ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිම සහ දන්ත වෛද්‍යවරයකු වන ඒ මහතාගෙන් කරුණු විමසා පැලෝපිය නාල පරීක්ෂණය නොහොත් එචිඑස්ජි පරීක්ෂණය නැවැත්වීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂණ සභාවෙන් ඉල්ලා තිඛෙනවා

තවද එම වෛද්‍යවරයා විවෘත අධිකරණයේ කියන ලද කරුණු නඩු වාර්තාවෙන් ඉවත් කිරීමට නියෝග දිමට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතේ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලේ සදහන්.