නිල මැදුර විවෘතයි / ඉදිරි අභියෝගත් ජයගන්නා බව අගමැති කියයි

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් සියලු ආයතන එක් ස්ථානයට ගොනු කරමින් නාරාහේන්පිට , ඇල්විටිගල මාවතේ ඉදිකළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මැදුර නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ(25) විවෘත කෙරුණා.

එම නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව අභියෝග රැසකට මුහුණ දෙමින් ඒවා ජයගත් බවයි.

ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කිරීමේ අරමුණෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.

නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමනාකරණ වැඩපිළිවෙල යටතේ මහල් විස්සකින් යුක්තව මෙය ඉදිකර තිබෙනවා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් කෝටි 558ක්. නව නිල මැදුර ගොඩනැගිල්ල තුළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලුම අංශ මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , තිඹිරිගස් යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ආදී රාජ්‍ය ආයතන පිහිටුවා ඇති බැවින් ජනතාවට එකම ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට අවස්ථාව උදාවනවා. ආසන 100ක් සහ 200ක් බැගින් වන ශ්‍රවණාගාර දෙකක් ද මෙහි පිහිටුවා තිබෙනවා. තිඹිරිගස්යාය උප තැපැල් කාර්යාලය , ලංකා බැංකු ශාඛාව මෙන්ම බැංකු ටෙලර් යන්ත්‍ර ද පිහිටුවා තිබීම ද ජනතාවට පහසුවක් වනවා. ආබාධ සහිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස සකසා ඇති විදුලි සෝපාන පහක් සහ වාහන සියයක් නවතා තැබීමේ පහසුකම් ද මෙහි පවතිනවා. එමෙන්ම ආපන ශාලාවක් සහ කුඩා සුපිරි වෙළෙදසලකින් ද නිල මැදුර සමන්විතයි.

2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නිල මැදුර වැඩකටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2022 වසරේදීයි. අභ්‍යන්තර ස්වදේශකටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අපෙක්ෂිත කාලයටත් පෙර මෙහි ඉදිකිරීම් අවසන් කර ජනතාවට සේවා සැපයීමට හැකිවී තිබෙනවා.

මෙම අවස්ථවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පැවසුවේ කොලඹ දිස්ත්‍රික්කයේ ජනතාවට කාලය නාස්තියකින් තොරව රාජ්‍ය සේවාවන් රැසක් ලබාගැනීමට නිල මැදුර හරහා අවස්ථාව හිමිවන බවයි.
එය ජනතාවට කඩිනම් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙලේ ඉදිරි පියවරක් බවද අමාත්‍යවරයා අවධාරණය කළා.