ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව ඔක්තෝම්බර් තෙක් කල් යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩු විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලීමෙන් පසුවයි බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජාගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරුණු ලැබුවේ.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි මෙම නඩුව පවරා ඇත්තේ..

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි පියවර ගත්තේ.