ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සංවාදය.

මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වී නැහැ, අපේක්ෂකයා සොයාගැනීමේ එකඟතාවක් නැති නිසා. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගේ ගැටලුවක් මතු වෙලාද? තවම අපේක්ෂකයා නැහැ නෙ…?

අනෙක් පක්ෂවල වගේ අපේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් පොරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, විද්වතුන්, කලාකරුවන් සිවිල් සංවිධාන ප්‍රගතිශීලී සංවිධාන එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් අපි පිහිටවූව්වා. ජනතා මධ්‍යස්ථානය අපි හැදුවා. ඒ ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු අප ඉදිරියේදී නම් කරනවා. ඒකට කිසිම තරගයක් පොරයක් නැහැ. කොහොමත් ලබන මාසේ මැද වනවිට අපේ ජනාධිපති අපේක්ෂකයා අප නම් කරනවා.

ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණෙන් නොවේද එන්නේ ?

නැහැ, ගොඩනැඟෙන පුළුල් ජනතා පෙරමුණෙන් තමයි අපේක්ෂකයා ඉදිරිපත් වන්නේ.

එතකොට අලුත් ලකුණකින්ද තරග වදින්නේ ?

ඔව්. අලුත් ලකුණකින්.

මේ දිනවල රටේම ප්‍රශ්නෙ වෙලා තිබෙන්නෙ පිටරටින් කුණු කන්ටේනර් පැමිණීම. මේ ගැන ඔබ පාර්ලිමේන්තුවේත් චෝදනා කළා. මෙහි වරද කොතැනක කියාද ඔබ සිතන්නේ ?

කුණු ප්‍රශ්නේ ඉස්සරවෙලාම හෙළි කළේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින්. ඒ කියන්නේ වරාය රේගු නිලධාරීන්ගේ සංගමය විසින්. ඒකෙන් තමයි රටම දැනගත්තේ මේ කුණු ජාවාරම ගැන. මේ විදිහේ කුණු ගේන්න අවශ්‍ය නීති පද්ධතිය සකස් කළේ පහුගිය රජය විසින්. 2012/ 2013 වසරේ ඒකට අවශ්‍ය විදිහට මුදල් පනත් වෙනස් කරලා ගැසට් නිවේදන පවා ඉදිරිපත් කළා. ඒ නීතිමය රාමුව ඇතුළේ මෙරටට කුණු ගෙනාවේ මේ ආණ්ඩුව සමයේ. 2017 වසරේ ගෙනාව මේ කුණු කන්ටේනර් මේ දක්වා වරායේ තියා ගත්තේ ඒ සදහා දේශපාලන රැකවරණය තිබුණු නිසයි.

ඕනෑම භාණ්ඩයක් හෝ වාහනයක් වරායේ දිනයක් දෙකක් ප්‍රමාද වන විට අතිරේක ගුදම් ගාස්තු ගෙවීමට සිදු වනවා. එවන් තත්ත්වයක් තිබියදී වසර දෙකක් තිස්සේ මේ කන්ටේනර් වරායේ තිබීම ගැන එහි නිලධාරීන් වගකිව යුතු බව ඔබ සිතන්නේ නැත්ද ?

පැහැදිලිවම ඔවුන්ද වගකිව යුතුයි. නැත් නම් මෙපමණ කාලයක් මේ කන්ටේනර් වරායේ තිබුණේ කොහොමද? අනිවාර්යයෙන්ම දේශපාලන රැකවරණ ලැබෙන්න ඇති. ඒ වගේම නිලධාරීන් පවා එකතුව කට්ටියම තමයි මේ ජාවාරම සිදු කර ඇත්තේ.

අසාද් සාලි මහතා ප්‍රකාශ කර තිබුණා මුස්ලිම් ජාතිකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න පුළුවන් කියන තර්ජනාත්මක ප්‍රකාශයක්. ඒ ගැන ඔබ පක්ෂයේ මතය කුමක්ද ?

මේ වගේ ප්‍රකාශ නිසා යළිත් ජාතිවාදය ඇවිස්සෙනවා. ජාතිවාදී ප්‍රකාශ නිකුත් කිරීම නිසා සිදු වන්නේ සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාව වෙනත් අයගේ ගොදුරු බවට පත් වීමයි. මේ වගේ කේවල් කිරීම්, බලපෑම් කිරීම් හා ජාතිවාදී ප්‍රකාශ මඟින් සිදු වන්නේ ජනතාවගේ සිත් තුළ වෛරය පැතිරීමයි.

එදා උතුරේ ඇතැම් දේශපාලකයන් පැවසුවේ සිංහලයාගේ අවසන් ලේ බින්දුව දක්වා ලේ උරා බිය යුතුයි ආදි ලෙස ජනතාව කුපිත වන ප්‍රකාශයි. එහි අවසානය වසර 30ක යුද්ධයක් දක්වා ගියා. ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ මෙවැනි ප්‍රකාශ අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

වරාය නගරය සම්බන්ධව නලින්ද ජයතිස්ස මහතා යම් සුබදායි ප්‍රකාශයක් කර තිබුණා. මීට පෙර ඔබ පක්ෂය වරාය නගරයට විරෝධය පළ කළා නේද ?

නලින්ද මහතා කිව්වේ වරාය ලාභ ලබනවා නම් නැඟෙනහිර ජැටිය විකුණන්නේ ඇයි කියා. වරාය නගරය සඳහා අප පෑ විරෝධය අදත් එසේමයි. වරාය නගරය ගොඩ කිරීමේදී වත්තල, මොරටුව මීගමුව ප්‍රදේශවල ජීවත් වන ධීවර ජනතාවට විශාල ගැටලු මතු වී තියෙනවා. පසුගිය සතියේත් මීගමුවේ ප්‍රදේශයක අඩි 10ක් 15ක් පමණ මුහුදු රළ ගොඩ ඇවිත් තිබෙනවා. මුහුද ඛාදනය වනවා.

ජනතාවට දාහක් ප්‍රශ්න තිබියදී අප ප්‍රමුඛත්වය දී කළ යුත්තේ මුහුද ගොඩ කර නගර හදන එකද? පිට රටට සම්පූර්ණයෙන්ම සින්නක්කර ඉඩම් විකුණන ලද මේ ගිවිසුම් සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියලා මේ ආණ්ඩුව බලයට පත් වීමට පෙර කිව්වේ.

එහෙත් ආණ්ඩුව බලයට පැමිණි පසු ගිවිසුම් සංශෝධනය කළා. විදේශිකයන්ට අලෙවි කිරීමට හැදූ ගිවිසුම් වෙනුවට ඒ ඉඩම් බද්දට දෙන්න නව ගිවිසුම් සකස් කළා නෙ ?

ඒකෙත් ලොකු වෙනසක් නැහැ. බද්දට දෙන්නෙත් අවුරුද්දකට-දෙකකට නෙමෙයිනෙ. අනිත් එක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම තමා මැදිහත් වෙලා මේ නගරය හදන එක නවත්වනවා කිව්වා, ඒ වගේම එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු චම්පික රණවක කිව්වේ මේක මහා පරිසර හානියක් කියලා. විපක්ෂයේ ඉන්න කොට එහෙමයි. අද ඒ පරිසර හානිය එයාට හොඳ වෙලා. මේ ව්‍යාපෘතිවලින් වන්නේ රට තවත් ණය වෙන එක විතරයි.

ආණ්ඩුවට එරෙහි පාද සටන කිසිදු වැඩකට නැති බවයි විපක්ෂයේ ඇතැමුන්ගේ මතය වී ඇත්තේ. එය ජනතාවට නොදැනෙන බවයි ඔවුන් පවසන්නේ… ?

පාද සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන යන වැඩසටහනක්. ඒ පොදු වැඩසටහනේ අරමුණ වන්නේ ආණ්ඩුවේ ජනතා විරෝධී ගමන්මඟ වැළැක්වීමයි. එය ජනතාවට දැනුණාද නැද්ද කියන-එක ජනතාව දන්නවා. අවස්ථාවාදී දේශපාලනඥයන්ට ඒ බව නොදැනුණාට රටේ ජනතාව හොඳින් දන්නවා.

පාද සටන්, උද්ඝෝෂණ, පිකටිං සේරම කරා ආණ්ඩුව එහෙමමයි, ඊළඟ පියවර කුමක්ද ?

ඉදිරියේදීත් අප අනිවාර්යයෙන්ම ආර්ථිකය හදන්න අසමත් මේ ආණ්ඩුව ගෙදර යන තෙක් අපේ විරෝධතා ගෙනයනවා.

ලාල්කාන්ත මහතා පවසා තිබුණා ආණ්ඩුවට විරෝධය පා විශාල ජන රැල්ලක් ගෙන එන බවක්…?

ඔව්. අප අවස්ථාවට සුදුසු පරිදි පාර්ලිමේන්තුවේදී වන්න පුළුවන්. නැත් නම් මහ පාරේදී වන්නත් පුළුවන්. ඒහෙමත් නැත් නම් වෘත්තීය සමිති මඟින් වන්නත් පුළුවන්. අප විරෝධතා ගෙනයනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් විශාල සංවිධාන ප්‍රමාණයක් අප සමඟ එකතු වෙලා ඉන්නේ. ඒ සියලු දෙනාම ඒකමතිකවයි අප විරෝධතා පවත්වන්නේ. සිදු කරන විරෝධතාව කුමක්ද යන්න අප අවස්ථාවට අනුව තීරණය කරනවා.

සංවාදය – තාරක වික්‍රමසේකර – සිළුමිණ