ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු මිකී ආතර්, ඩොමිනික් හෝ මූඩි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු සෙවීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී. මේ එහිදී වැඩි අවධානයට ලක්ව ඇති පුහුණුකරුවන් පිළිබදයි.

ටොම් මූඩි මහතා 2005 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ අතර දැනට අයි. පී. එල්. සන්රයිස් හයිද්‍රභාද් පිලේ පුහුණුකරු වේ. ඔහු බටහිර ඔස්ට්‍රේලියා හා කිංග්ස් පන්ජාබ් පිලේ ද පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. මිකී ආතර් මහතා පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියා කණ්ඩායම්වලද කලක් පුහුණුකරු ලෙස කටයුතු කළේය. දකුණු අප්‍රිකා ජාතික පිලේ හා ‘ඒ’ කණ්ඩායමේ පුහුණකරුවකු ලෙස රසල් ඩොමිනික් මහතා දක්ෂතා පෙන්වා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව ඉවත්වන බවට ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී ඇතත් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතා තවමත් අස්වීමේ ලිපිය ලබාදී නොමැති බව වාර්තා වේ. ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අස්සන් කළ ගිවිසුම 2020 දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකව පැවැතින බැවින් ගිවිසුම ප්‍රකාරව මසකට රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක වැටුප් හා දීමනා ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැදී සිටී. මේ තත්ත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට හතුරුසිංහ මහතා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා සාකච්ඡා ආරම්භකර ඇතැයිද පැවැසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු තනතුර සඳහා ලොව ප්‍රවීණතම පුහුණුකරුවන්වන ටොම් මූඩි, මිකී ආතර් හා රසල් ඩොමිනික් යන මහත්වරු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡා ආරම්භ කරයි. ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා මෙන්ම දකුණු අප්‍රිකානු ජාතිකයන් වන මිකී ආතර් හා රසල් ඩොමිනික් යන මහත්වරු දැනට ලොව සිටින දක්ෂතම පුහුණුකරුවන් බැවින් ඔවුන් අතුරින් ශ්‍රී ලංකාවට වඩාත්ම ගැලපෙන, ඉහළම සුදුසුකම් ඇති අයකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කරමින් සිටී.

එම පුහුණුකරුවන් තිදෙනා ඉදිරිපත්කළ යොජනා අනුව වැඩිම මාසික ගෙවීම ලෙස එක් අයෙකුගෙන් ලැබී ඇති ඉල්ලීම මසකට රුපියල් ලක්ෂ 45ක (අමෙරිකානු ඩොලර් 25000) පමණ මුදලකි. වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට මසකට රුපියල් ලක්ෂ 70ක (අමෙරිකානු ඩොලර් 40000) පමණ දීමනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවමින් පවතින බැවින් නව පුහුණුකරුට හතුරුසිංහ මහතාට ගෙවන මුදල මෙන් අඩක් පමණ ගෙවීමට සිදුවේ.

වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිල සමග කටයුතු කරන අවසන් තරගය අද බංග්ලාදේශයට එරෙහි සටන බැවින් ලබන මාසයේ මුල් සතියේ ආරම්භවන නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට පෙර නව පුහුණුකරු පිළිබඳ අවසන් තීරණයකට එළැඹිය යුතු වේ.

“ක්‍රිකට් පුහුණුකරු එලවන්න මගේ අදහසක් නෑ. මට එවැනි අවශ්‍යතාවක් ඇත්තේත් නෑ. ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල වැටුපක් ගෙවනවානම් එයට නිසි ප්‍රතිඵලයක් අවශ්‍යයි. ගෙවන වැටුප අනුව සියයට 35ක ජයග්‍රහණ ප්‍රමාණවත් නෑ. ඒ නිසයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මා දැනුම් දුන්නේ සියලු දෙනා ඉවත් කොට අලුතින් අයැදුම්පත් කැඳවා සුදුසු පුද්ගලයන් පත්කරන ලෙස“ ඇමැතිවරයා පැවැසීය.මේ අතර තමන්ගේ දැනුම්දීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සියලු පුහුණුකරුවන් ඉල්ලා අස්විය යුතු බවත්, සුදුසුකම් ඇති නව පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කරගත යුතුව ඇති බවත් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති උත්සවයකදී යළිත් වරක් අවධාරණය කළේය.

ඇමැතිවරයා පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග කිසිදු අමනාපයක් නොමැති බව හා තමන්ට අවශ්‍ය වන්නේ ගෙවන වැටුපට නිසි සේවයක් ලබා ගැනීම බවය.