රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ට යටත් විය යුතු නෑ /අශෝක පීරිස්

අගමැතිවරයා සිය පෞද්ගලික ධනය යොදවමින් වාහන දෙකක් මිලට ගැනීම හෝ එතුමා බොහෝ තැන්වලදී ආරක්ෂා කළ කුළුපග මිතුරෙකුවන විපක්ෂ නායකවරයාට වාහනයක් අරන් දීම කිසි සේත්ම ගැටලුවක් නොවන නමුත් ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ධනය යෙදවීම සම්බන්ධව ගැටලුවක් පවතින බවත්, පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය අභියාචන කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ පසුගිය දා වාරියපොළ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ ඡන්දය කල් දැමීම ආණ්ඩුවේ උවමනාවක් බවත් සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ව ලංකා ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරී ධුරයෙන්ද ඉවත්කර දැමූ බවත් ය.

පසුව බැසිල් රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාද තමාට දුරකථනයෙන් අමතා පැමිණ ඔවුන් හමුවන ලෙස දන්වා සිටි බවත් ඒ මහතා සඳහන් කළේය. තමන්ට එසේ හමුවීමට අවශ්‍ය නැති බවත් මන්ද තමන්ට එසේ හමු වී ඔවුන්ගෙන් ලබා ගැනීමට කිසිවක් නැති බවත් පෙරළා දැනුම්දුන්නැයිද ඒ මහතා පවසයි. තමන්එසේ හමුවූවානම් ඔවුන් වෙනුවෙන් වැඩකටයුතු කර තානාපතිධුරයක් වැනි යමක් ලබා ගැනීමට හකිවන නමුත් මේ පසුගිය වසර 71ක කාලය තුළ සිදු කළ ඒ ක්‍රමය වෙනස් කළ යුතු බවත් අශෝක පීරිස් මහතා අවධාරණය කරයි.

රාජ්‍ය නිලධාරීන් යනු දේශපාලඥයින් කියන කියන ආකාරයට වැඩකරන පිරිසක් නොවන බව තමන් එම ප්‍රතිචාරයෙන් ඔවුන්ට පෙන්වා දුන් බවද ඒ මහතා පෙන්වා දෙයි.

වසර හැත්තෑ එකක් පුරාවට මොවුන්ගේ මේ රටට සිදුකළ වැඩ දැක ඇති බවත් තව දුරටත් ඔවුන් සමඟ කටයුතු කිරීමෙන් පලක් නොවන බවත් පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය අභියාචන කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. -LKT


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න