ආර්ථිකය හසුරුවන්නේ සූදුකාරයෝ ණය ගන්නවා වගේ – අජිත් නිවාඩ් කබ්රාල්

වර්තමාන ආණ්ඩුව නිතරම පවසන දෙයක් වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය ගත් සුවිශාල ණය කන්දරාවක් තමන්ට ගෙවන්නට සිදුව ඇති බවයි. රටේ සංවර්ධනය මන්දගාමී වී ඇත්තේ එම ණය ගෙවීමට ඇති නිසායැයි ඔවුහු පුන පුනා කියති. එහෙත් මෙම කියමන සත්‍යද? කොතෙක් දුරට යථාර්තවාදීදැයි අප සොයා බැලිය යුතුය.

2018 වසරේ අග වනවිට අපේ රට ගෙවීමට ඇති ණය මුදල රුපියල් බිලියන දහතුන් දහස් එක්සියයක් (13,100) දක්වා ඉහළ ගොස් තිබුණි. 2015 වනවිට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් මිලියන 7400කි. පසුගිය වසර හතරක කාලය තුළ දේශීය හා විදේශීය ණය මෙතරම් ඉහළට නොසිතූ විරූ ලෙස වැඩි වී ඇත. එතරම් ණය ලබාගෙන ඇත්තේ කුමටද යන්නද අවිනිශ්චිතයි. ඒවායින් සිදු කළ සංවර්ධන වැඩ මොනවාද යන්න ද ගැටලු සහගත වේ. ණය ගත්තේ කුමක් නිසාද යන්න ගැන පැහැදිළි නැත.

රටක ණය මට්ටම මනිනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂයි. වර්තමාන රජය රට බාර ගන්නා විට අපේ ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 72ක මට්ටමේ තිබුණි. එහෙත් මේ වනවිට එය සියයට 91 දක්වා ඉහළ නැග ඇත. දැවැන්ත ලෙස රටේ ණය බර වැඩි වී ඇති බව මේ අනුව සනාථ වෙයි. මේ තත්ත්වය දැඩි අවදානමක් බවට පත්වී තිබේ. තනි ඉලක්කමකින් තිබූ පොලී අනුපාතය ද මේ වනවිට ද්විත්ව වී ඇත. ණය සහ පොලිය ගෙවීමට ඉතා විශාල මුදලක් වෙන් කිරීමට සිදුව තිබේ. රටේ ජාතික ආදායම පවා මේ සඳහා නොසෑහීම හේතුවෙන් ණය සහ පොලී ගෙවීමට තව තවත් ණය ගන්නට රජයට සිදුව තිබේ. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම, පොලී අනුපාතය වැඩිවීම නිසා දවසින් දවස ගෙවිය යුතු ණය ප්‍රමාණය ඉහළ යයි. එසේම අලුතින් ගන්නා ණය ද මෙයට එකතු වීම නිසා තත්ත්වය තවදුරටත් බරපතළ වී තිබේ.

මෙයට අමතරව රජය අවිධිමත් ලෙස ගන්නා ණය ප්‍රමාණය ද ඉහළ යමින් පවතී. ණය නිසා අමාරුවේ වැටී සිටින බැවින් සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් ගොස් ණය ගන්නට රජයට සිදුව තිබේ. මෙහිදී ඕනෑම කොන්දේසියකට යටත්ව ණය ගැනීමට උනන්දුවක් දක්වයි. රටේ තත්ත්වය දන්නා ණය දෙන ආයතන ක්‍රමයෙන් කොන්දේසි දැඩි කරයි. පොලිය වැඩි වේ. සහන අඩු කරයි. සහන කාලයකින් තොරව ගත් ණය ගෙවන්නට සිදුව තිබේ. ආයතන බංකොළොත් වූ විට එහි ඇති භාණ්ඩ දේපොළ පවා විකුණන්න සිදුවෙයි. දැන් අපට මුහුණ පාන්නට සිදුව ඇත්තේ එවැනි කනගාටුදායක තත්ත්වයකටයි. රටේ ඉඩම්, ගොඩනැගිලි, වරායවල්, වෙරළ තීර මේ ආදී සැමදෙයක්ම විකුණා මුදල් සොයන්නට ආණ්ඩුව උත්සාහ කරන බව අද සිදුවෙමින් පවතින තත්ත්වය අනුව පැහැදිළි වේ. මෙය බේබද්දෝ සූදුකාරයෝ ණය ගන්නවා වැනි දෙයකි.

රජය මහා භාණ්ඩාගාරය හරහා ණය ගැනීමට අමතර වශයෙන් විවිධ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට වෙන් වෙන්ව විදේශ ණය ගැනීමට ඉඩ දී තිබුණි. පසුගිය කාලයේ රාජ්‍ය බැංකු මෙම ක්‍රියාදාමයට යොමුව තිබූ අතර එලෙස ගන්නා මුදල් භාණ්ඩාගාර බැඳුම්කර සහ විවිධ මාර්ග ඔස්සේ රජය ලබාගැනීම සිදුවිය. එහෙත් දැන්නම් එම තත්ත්වය අවම වී ඇත. කෙසේ වුවද අද වනවිට ආණ්ඩුව තවත් ණය ගැනීමේ අර්බුදයකට ලක්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ණය දෙන ආයතන මේ වනවිට අපට සහන ණය දීම නවතා තිබේ. ආණ්ඩුව ගන්න පුළුවන් තරම් ණය ලබාගෙන මේ වනවිට තවත් ගන්නට නොහැකි බවට පත්ව තිබේ. ඒ නිසා දැන් වෙනත් බාහිර විදේශ හරහා දැඩි කොන්දේසිවලට ණය ගැනීමට සිදුව ඇත. ණය ලබානොගෙන රටකට තම ආදායමෙන් අවශ්‍යතා පිරිමසා ගත නොහැකිය යන්න සත්‍යයකි. එහෙත් එයින් නිසි කළමනාකාරණයක් නැති වූ විට හිතකර ප්‍රතිඵලවලට වඩා අහිතකර ප්‍රතිඵල වැඩි වී තිබේ. අද අපට සිදුව ඇත්තේ එයයි.
මේ අතර ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිල සාමාජිකයා වන මුදල් අමාත්‍යංශ ලේකම්ගේ බලතල කප්පාදු කිරීමටයි. මුලදී ලේකම් මුදල් මණ්ඩලයෙන් ඉවත් කිරීමට සූදානම්ව සිටියද මේ වනවිට ඔහු නිරීක්ෂණ මට්ටමේ තබාගෙන ඔහුට ඇති ඡන්ද බලය නැති කිරීමේ උත්සාහයක් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මුදල් මණ්ඩලයේ සභාපති වන අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් නිල බලයෙන් එහි සාමාජිකයෙක් වෙයි. මෙහිදී තවත් සාමාජිකයන් තිදෙනකු මුදල් ඇමැතිගේ නිර්දේශය මත ජනාධිපති විසින් පත්කරනු ලබනවා ඇත. එහි ව්‍යූහය එයයි. එය වෙනස් කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේ කර ගැනීමට ද යන සැකය මතුව තිබේ.

නම්‍යශීලී උද්ධමන ප්‍රතිපත්තියන් යන්න ඉලක්ක කරගෙන මුදල් පනත වෙනස් කිරීමේ උත්සාහයක මේ වනවිට ආණ්ඩුව නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. මෙම වෙනස්කම් කිරීමට උත්සාහ කරන්නේ මගේ අදහසේ හැටියට සේවක අර්ථසාධක අරමුදල වැනි රජය සතුව පවතින විශාල මූල්‍යමය සම්පත්වලට අත තැබීම සඳහායි. මෙම අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පසුගිය කාලයේ උත්සාහ කළද එය හරිහරටි කරගන්නට නොලැබුණි. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමේ සූදානමක් පවතී. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙයට බාධකයක් වී ඇති බව සලකා එහි යම් අවශ්‍ය සංශෝධන කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටී. පවතින තත්ත්වය යටතේ තම අපේක්ෂා ඉටුකර ගත නොහැකි වීම නිසා ඒවායේ ව්‍යූහාත්මක වෙනස්කම් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ. ආණ්ඩුව පුරුද්දක් වශයෙන් කරන්නේ මෙවැනි සංශෝධනයක් කරන මුවාවෙන් එක් වෙනසක් කරන අතරේ තමන්ට අවශ්‍ය වෙනත් දේවල් ද ඒ මගින් කර ගැනීමයි. උදාහරණයක් ලෙස පැවසුවොත් පසුගිය සමයේ පළාත් සභාවලට කාන්තා නියෝජනය වැඩි කිරීමේ සංශෝධනය අතරේ තවත් පිටු 29ක වෙනත් සංශෝධන ඒ හරහා රහසේ සම්මත කර ගැනීමට උත්සාහ කළ බව අපට මතකයි. දැන් මෙවරද එවැනි අත්හදා බැලීමකට සූදානමක් තිබෙන බව කිව යුතුය. මුදල් මණ්ඩල පනතට මෙලෙස නම්‍යශීලී උද්ධමන ප්‍රතිපත්තියක් ඉලක්ක කරගෙන ගෙනෙන්නට සැලසුම් කර ඇති සංශෝධන අනුව තම සෙසු අවශ්‍යතා කොළේ වසා ඉටුකර ගැනීමේ උත්සාහයක් ආණ්ඩුව තුළ පවතින බව පැවසිය යුතුය. ඒ නිසා මේ පිළිබඳ අප අවදියෙන් සිටිය යුතු වෙයි.

ආණ්ඩුව අද මහ ඝෝෂාවක් නගමින් පවසන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් බවට පත්ව තිබෙනවාය යන්නයි. රටේ උද්ධමන වේගය  3ට ආසන්නව පහළ ගොස් ඇති බවද එනිසා ජනතාවට සුවසේ කල් ගෙවිය හැකි වාතාවරණයක් උදා වී ඇති වගද ඔවුහු කියති. ආණ්ඩුව මොනවා පැවසුවත් ඔය කියන සංඛ්‍යාලේඛන ඇත්තද යන්න අද පාරේ ගමන් කරන කෙනකුගෙන් වුවද විමසා දැනගත හැකියි. මොන සංඛ්‍යා ගැන කිව්වත් එම තත්ත්වය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැතිනම් ඔවුන්ට යහපතක් සිදු වී නැත. ජනතාව අද ජීවත් වන්නේ ඉතාම අපහසුවෙනි. තුන්වේල තියා දෙවේලක්වත් කුස පිරෙන්න ආහාර ගන්නා අය අඩුයි. ඇතැම් අය දින දෙක – තුන ආහාර නැතිව දුක්ඛිතව ජීවත් වන බවට ආරංචි පළවෙයි. පසුගිය දා ජීවත් වන්නට ක්‍රමයක් නැතිව අම්මා කෙනෙක් ස්වකීය දැරියන් දෙදෙනා සමඟ දුම්රියට පැන දිවි නසාගැනීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කළ හැකි විය.

අද රටේ ආදායම බෙදී යාමේ විෂමතාවක් දක්නට ඇත. සමහරකුට අතිරික්ත පහසුකම් ලැබෙන නමුත් වැඩි කොටසකට ජීවත් වීමට අවශ්‍ය අවම අවශ්‍යතා පවා නොලැබෙන තත්ත්වයක් උදා වී තිබේ. ජනතාව අන්ත දෙකකට බෙදී ඇති අතර මධ්‍යම පංතිය යන කොටස පහළට රෑටා යමින් පවතී. රටක් දියුණු වන්නට ඒක පුද්ගල ආදායම වැදගත් වේ. 2014 අවසානයේ මහින්ද රාජපක්ෂ රජයේදී ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3850ක්ව තිබුණි. එහෙත් ඊටපසු අවුරුදු හතරක් යනවිට එය වැඩිව තිබුණේ 4011 දක්වා ඉතා සුළු වශයෙනි. මෙහි ක්‍රමාන්විත ඉහළ යාමක් දක්නට නොලැබුණි. මෙයින් අදහස් වන්නේ මෙම කාලයේදී පුද්ගලයාගේ ආදායමේ වර්ධනය ඇතිව ඇත්තේ ඉතාම මඳ වශයෙන් බවයි. මෙම තත්ත්වය නැති නොකළොත් රටේ ආර්ථිකය වර්ධනය කරගත නොහැකියි. රටේ ආර්ථිකය දියුණු යැයි කියනුවේ පුද්ගලයාගේ ආර්ථිකයේ දියුණුව මතයි. සමාජය යනු පුද්ගලයන් රුසක එකතුවකි. එම අය දියුණු වෙනවා නම් රටත් දියුණු වෙයි. ජනතාව දිළිඳුව සිටියදී රටේ ආර්ථිකය දියුණු යැයි පම්පෝරි ගැසිය නොහැකිය.

අද රටේ වැඩි කොටස දුප්පත් වී ඇත. ජනතාව පාරට ඇද වැටී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා සැවොම පීඩාවට පත්ව ඇත. රටේ ඇති අයහපත් වාතාවරණය නීති පද්ධතියේ ඇති අවුල් සහගත තත්ත්වය, කළමනාකරණයේ දුර්වලතා මෙම තත්ත්වයට හේතු වී තිබේ. වම කරන දේ දකුණ නොදන්නවා වගේ හෙට සිදුවන දේ අද දන්නා කෙනකු නැත. සියල්ල අවිනිශ්චිතව තිබියදී රටට ආයෝජකයන් නොපැමිණෙන බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. අද පවතින තත්ත්වයට හේතුව පසුගිය දිනවල සිදුවූ ත්‍රස්ත ප්‍රහාර ආදිය යැයි කියා ඇඟ බේරා ගැනීමට වගකිවයුත්තන් උත්සාහ ගන්නා බව පෙනේ. එහෙත් එය අසාර්ථක ප්‍රයත්නයකි. එයට හේතුව රටේ ආර්ථිකය කඩා වැටුණේ එයට පෙර සිට බැවිනි. මෙම සිද්ධිවලට පෙර පළමුවැනි කාර්තුවේ සිටම රටේ ආර්ථිකය ප්‍රපාතයට ගොස් තිබුණි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලාභංශ දැවැන්ත ලෙස අඩුව ගොස් තිබුණි. එහෙත් වගකිව යුතු අය උත්සාහ කරන්නේ මෙම කඩා වැටීම අයි.එස්.අයි.එස් ත්‍රස්ත ප්‍රහාරවලට ලඝු කිරීමටය. එය අසාර්ථක උත්සාහයක් බව කිවයුතුය.

රටේ අයවැය ලේඛනය සංඛ්‍යා රැසක් බවට පත්ව තිබෙනවා හැර එයට අනුරෑප වන සේ කිසිවක් සිදු නොවේ. ආදායම් වියදම් දෙපැත්තම විකෘති වී ඇත. අලුත් ආදායම් පනත් ගෙනාවත් ජාතික ආදායම එකතු කිරීම දුර්වලය. ආදායම් බදු ලිපිගොනු වැඩි කරනවා යැයි මුදල් ඇමැති කිව්වත්, එසේ ගොනු සංඛ්‍යාව ඉහළ දැමීමෙන් ආදායම ඉහළ යනවාද? ආදායම දුර්වලව තිබියදී වියදම අහස උසට ඉහළ යයි. පසුගිය ආපදා සමයේ අනපේක්ෂිත වැයවලට කොතරම් නාස්ති වුණාද? එලෙස වැයකිරීමට ආදායමක් තිබේද? අයවැය ලේඛනයේ තුළනයක් නොමැතිය. අසීමාන්විත ලෙස අවශ්‍ය දෙයට මෙන්ම අනවශ්‍ය දෙයට ද වැය කරයි. පාලකයන් අනවශ්‍ය හා අසාධාරණ ලෙස තමන්ගේ වුවමනා එපාකම්වලට ජනතාවගේ මුදල් කිසිදු හිරිකිතයක් නැතිව වැය කරමින් සිටී. තමාගේ අතේ ඇති හැන්දෙන් තමාට අවශ්‍ය පරිදි බෙදා ගැනීමේ සම්ප්‍රදායක් පවතී. ඉතින් මෙවැනි රටකට සංවර්ධනයක් සෞභාග්‍යක් උදා වේයැයි පැවසීම සිහිනයක් නොවන්නේද?

යසවර්ධන රුද්රිගුa


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න