ඊළඟ ආණ්ඩුවේ බලවතා ජනාධිපතිද? අගමැතිද?

විෂයයන් තෝරන්නේ ජනපති:
ඇමැතිවරු පත් කරන්නේ අගමැති: මේක විකෘතියක්
– හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ සරත් නන්ද සිල්වා

මේ ප්‍රශ්න මතුකර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් උද්ගතවන තත්ත්වය පිළිබඳවය. 19 වැනි සංශෝධනයෙන් පුළුල් ලෙස සංශෝධන වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ පරිච්ඡේදයයි. ඒ අනුව 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි පරිච්ඡේදය ඉවත්කර අලුත් පරිච්ඡේදයක් ඇතුළත් කිරීම සිදුව තිබේ. මේ ප්‍රශ්න මතුවී තිබෙන්නේ එය ක්‍රියාත්මක වීමේදී බලවතා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි.

මට පෙනී යන්නේ 19 වැනි සංශෝධන සකස් කරන විට මේ පිළිබඳව අවධානයකින් යුතුව කටයුතු කර නොමැති බවයි. මන්ද අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ක්‍රමවේදයක් ඇත. එහි මූලික ව්‍යවස්ථාවන් තිබේ. ඒ අනුව තුන්වැනි මූලික ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය ජනතාව වෙත පිහිටා ඇත්තේය කියා දක්වා තිබේ. හතරවැන්නේ එම පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. ඒ අනුව (4.ආ) යන්නෙන් දක්වා ඇත්තේ “රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය” කියාය. මෙය මූලික ව්‍යවස්ථාවකි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ ජනමත විචාරයකින් තොරව මෙය වෙනස් නොකළ යුතු බවයි. 19 වැනි ව්‍යවස්ථාව සකස් කරන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම නිගමනය දී තිබේ.

නමුත් කැබිනට් මණ්ඩලය පිළිබඳ අලුත් පරිච්ඡේදයක් ඇතුළත් කිරීමෙන් මෙහි විශාල විපර්යාසයක් වී ඇත. මූලික ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළයුත්තේය කියා දක්වා තිබේ. එය ක්‍රියාත්මක කළ යුත්තේ කැබිනට් මණ්ඩලය මගිනි. එහෙත් කැබිනට් මණ්ඩලය පිළිබඳ තිබෙන අටවැනි පරිච්ඡේදයේ විශාල සංශෝධන සංඛ්‍යාවක් සිදුකිරීම හරහා සිදුව ඇත්තේ කිසිදු අමාත්‍යාංශයක් තමන් වෙත පවරා ගැනීමේ බලය ඉවත් කිරීමයි. ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් නොමැති තත්ත්වයක් උදාකර තිබේ. කෙසේ නමුත් 19 වැනි සංශෝධනයේ විශේෂ විධිවිධානයක් යොදා දැනට සිටින ජනාධිපතිවරයාට පමණක් මහවැලි පරිසර ආරක්ෂක අමාත්‍යාංශය හිමිකර දී තිබේ.

මට පෙනෙන ආකාරයට මෙය විකෘතියකි. මූලික ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේය කියා දක්වා තිබේ. එය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී එම බලය ඉවත්කොට තිබේ. එහෙත් යම්කිසි බලයක් මෙම 8 වැනි පරිච්ඡේදයෙන් ජනාධිපතිවරයාට ලබා දී තිබේ. ඉන් එකක් නම් අමාත්‍යවරු ගණන තීරණය කිරීමයි. එය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ බලයක්ය. අනෙක නම් එක් එක් අමාත්‍යාංශයේ විෂයයන් මොනවාද යන්න තීරණය කිරීමයි. එයද ජනාධිපතිවරයාගේ බලයකි. නමුත් අමාත්‍යවරු ලෙස පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි. ඒ අනුව ඇමතිවරු නම් කිරීමේ කාර්යභාරය අගමැතිවරයාට පැවරෙයි. එසේ වුවද මෙහිදී අමාත්‍යවරු සතු විෂයයන් ජනාධිපතිවරයා ඕනෑම වෙලාවක වෙනස් කළ හැකිය. කෙසේ නමුත් මෙය අවබෝධකින් තොරව සිදුකරන ලද්දක් බව පිළිගැනීමට සිදුවේ.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යවරු පත් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පැවරුණේ ජනාධිපතිවරයාටය. අවශ්‍ය නම් අගමැතිගේ මතයද විමසා සිටීමේ හැකියාව තිබිණි. දැන් ඇමතිවරු නම් කිරීමේ බලය ඇත්තේ අගමැතිටය. ජනාධිපතිවරයා එම පත්කිරීම් සිදුකළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතය. ජනාධිපතිවරයා විෂයයන් තීරණය කර අගමැතිවරයාගෙන් පත්කළ යුත්තේ කවුරුන්දැයි විමසා සිටිය යුතුය. ඒ අනුව විෂයයන් තෝරන්නේ එක් අයෙකි. පත්කරන්නේ තවත් අයෙකි. ඇත්තෙන්ම මේ හරහා මතුව ඇත්තේ විසංධියකි.

ඉදිරියේ බිහිවෙන ආණ්ඩුවකද මෙම ව්‍යවස්ථාදායකය – විධායක අර්බුදය මේ අයුරින්ම මතුවිය හැකිය. එහෙත් අප බැලිය යුත්තේ එය සිදු නොවන ලෙස කටයුතු කළ හැක්කේ කෙලෙසද කියාය. රටට සෙතක් වෙන්නේ එවිටය. වර්තමායේදී සප්ත පරිහානී ධර්ම පිළිබඳ කතා කරයි. එහෙත් වර්තමානයේ අර්බුදය මතුව ඇත්තේ සප්ත අපරිහානී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසාය. මතු එන ආණ්ඩුවක් ඊට අනුව ක්‍රියාත්මක වන්නේ නම් සමගියෙන් යුතුව ඊට කටයුතු කරන්නේ නම් ගැටලු අවම වේ. මෙය ධනාත්මක ලෙස අර්ථය කළ යුතුය. විය යුත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතා සමගියෙන් ක්‍රියාත්මක කිරීමයි.

ජනාධිපතිවරයාට විෂයයන් මාරු කිරීමේ බලය, ලේකම්වරැ පත්කිරීමේ ආදී බලය තිබේ. ඒ අනුව සියලු විෂයයන් අධීක්ෂණය කර අවශ්‍ය නම් සංශෝධන කිරීමට ජනාධිපතිට හැකියාව තිබේ. එසේ වනවිට ජනාධිපතිට කාර්යභාරයකින් යුතු විෂය පථයක් නිර්මාණය වෙයි.

ජනාධිපතිවරයා අමාත්‍යාංශ බදා නොගැනීම හොඳයි
– ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

මම නම් හිතන්නේ ජනාධිපතිතුමාට තමා බලය තියෙන්නේ. පක්ෂ දෙකකින් ඉන්න නිසා තමයි මේ ගැටලු මතුවෙලා තියෙන්නේ. 19 වැනි සංශෝධනයෙන් පසුවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමකින් නැවත අවධාරණය කළේ විධායකයේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව. එම නිසා විධායක බලය ඇත්තේ ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සමඟ එකතු වී රජයේ ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පිට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ යුතුයි. 

සියලු අමාත්‍යාංශවල යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නිලධාරී මණ්ඩලය හරහාය. නිලධාරී මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ඒ ඒ අමාත්‍යාංශවලට පත්කළ ස්ථීර ලේකම්වරු හරහාය. එම ලේකම්වරු පත්කිරීම සඳහා සම්පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිතුමාටය. තවද ව්‍යවස්ථාව ප්‍රකාරව ආරක්ෂ හමුදාවල ප්‍රධානියා බවට පත්වන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව ආරක්ෂාව ඇත්තේ එතුමා සතුවය. මුක්තිය ලබාදීමේ බලය ඇත්තේ එතුමාටය. නීතිය සහ සාමය ගැන තීරණය කිරීමේ බලය ඇත්තේද එතුමාටය. එම නිසා ජනාධිපතිවරයා නාමමාත්‍රික වනවා යන්න වැරදි හැඟීමකි. වර්තමාන තත්ත්වයට හේතුව වූයේ පක්ෂ දෙකක බලය රැඳීමයි. නැතිනම් මෙය කරගෙන යා හැකි දෙයකි.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ අමාත්‍යාංශය තමා යටතට ගෙන කටයුතු කිරීම නොවේ. ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වන්නේ රජයේ ප්‍රතිපත්ති මෙහෙය වීමයි. විමධ්‍ය ගතකොට අනෙක් අය මාර්ගයෙන් මෙය කරගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කළේ එසේය. ඔහු කිසිදාක මුදල් අමාත්‍යාංශය බදාගත්තේ නැත. නාවික සහ වෙළෙඳ අමාත්‍යාංශ බදාගත්තේ නැත. ආරක්ෂක අමාත්‍යාංශයත් සම්පූර්ණයෙන් මෙන් ලලිත් ඇතුලත්මුදලි මහතාට භාරදී තිබිණි. ඉතාමත් දක්ෂ කණ්ඩායමකට අදාළ අමාත්‍යාංශ භාරදී තිබිණි. මෙය වෙනස් වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙනි. ඉන්පසු පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරු එය අනුගමනය කළෝය.
මට සිතෙනා ආකාරයට ඇමතිවරු පත්කිරීමට සහ ඇමතිධූර දැරීමට ජනාධිපතිවරයාට බලක් නොමැති වීම වඩා හොඳ තත්ත්වයකි. එවිට පොදුවේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනපතිට හැකිය. 19 ව්‍යවස්ථා සංශෝධනයේ හදිස්සියට සැකසීම නිසාවෙන් නොයෙක් ප්‍රශ්න තිබේ. එය වඩාත් වැදගත් ලෙස ඉදිරියට මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. එහෙත් එය එසේ තිබෙද්දීත් එහි සාධනීය දේවල් රැකගෙන ඉදිරියට යාමේ හැකියාවක් තිබේ.

බලතල බොහොමයක් ජනපති අතේ තිබෙනවා
– ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්

දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වැනි සංශෝධනත් සමඟ බැලූ විට ඉදිරි ජනාධිපතිවරයාට ඇමතිකම් දැරිය නොහැකි බව ඉතා පැහැදිලියි. ඒ අනුව බලය අඩුවීමක් සිදුවෙනවා. ජනාධිපතිවරයාට තිබෙන සීමා පිළිබඳ ඔක්තෝබර් සිදුවීමෙන් පසු ලැබුණු නඩු තීන්දුව සමඟත් පැහැදිලි වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු විසුරැවා හරින්න නොහැකිවන සීමා දැන් ඇතුළත් වෙනවා. එහෙත් ජනාධිපති ධූරය ආණ්ඩුකාර ධූරය හා සමානයි කියලා කියන මතයට එකඟ වෙන්න බෑ. ඊට වඩා ප්‍රධාන බලතල තියෙනවා.

උදාහරණයක් විදිහට පළාත් සභා විසුරුවන්න හැකියාවක් තියෙනවා. ආණ්ඩුකාරවරයා පත්කරන්නේ ජනාධිපතිතුමා. ආණ්ඩුකාරවරයාට ඒ පළාතේ සම්පූර්ණ බලතල තියෙනවා. ඒ නිසා පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒකේ කිසිදු අඩුවක් වෙලා නෑ. පුද්ගලිකව මමත් ජනාධිපතිවරයාගේ බලතල අඩුකරනවාට විරුද්ධයි. එහෙම වුණොත් පළාත් සභාවලට වෙනම ඊළාම් එකක් වුණත් ප්‍රකාශ කරන්න පුළුවන්. එමනිසා මේ බලතල රට ඒකීය රටක් විදිහට තියාගන්න වැදගත් වෙන බලතල.

ඊළඟට සන්නද්ධ අංශවල නායකයා තවමත් ජනාධිපතිවරයා. එකම දේ තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එතුමා යටතට වැටෙන්නේ නැති එක. එහෙම වුණත් ඇමෙරිකාවේ මෙන් සන්නද්ධ හමුදාවලට අණදීමේ බලතල සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ අනුව රාජ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයත් වෙන්නේ එතුමා යටතට. ඒත් මෙතැනදී වර්තමානයේ ජනාධිපතිතුමා පොලිස් බලතල ගත්තා. ඒ වගේ කරන්න බැරිවෙනවා අනාගතයේදී.

ඇමතිවරු පත්කිරීමේදී අගමැතිවරයාගෙන් උපදෙස් ගන්න වෙනවා. එහෙත් ලේකම්වරයා පත්කරන්නේ ජනාධිපතිවරයා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ ලේකම් වරයා ඇතුළු රාජ්‍ය සේවය ප්‍රබලයි ඇමතිවරයකුට වඩා. අප උත්සාහ කළයුතුයි එතැනට. දැන් ඉන්න ඇමතිවරයාගෙන් ඇමතිවරයාට රටේ ප්‍රතිපත්ති පවා වෙනස් වෙනවා. ලේකම්වරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබීම හරහා ජනාධිපතිවරයා අවංක නම් රාජ්‍ය සේවයේ නියමාකාරයෙන් හදාගැනීමේ බලය එතුමාට තවම තිබෙනවා.

ජනපතිට – අගමැතිට සම මට්ටමේ බලතල
– ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ

1978 දක්වා අපේ රටේ ක්‍රියාත්මක වුණේ අගමැතිවරයාගේ බලතල සහිත ආණ්ඩුවක්. එහිදී සම්පූර්ණ විධායක බලය තිබුණේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට. නමුත් 1978න් පසුව විධායකයේ ප්‍රධානීත් ආණ්ඩුවේ ප්‍රධානියත් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියත් ජනාධිපතිවරයා බවට පත්වුණා. එහෙත් එම තත්ත්වය තුළ පවා යම් යම් සීමා තිබ්බා. උදාහරණයක් ලෙස ජනාධිපති ධූරයට පත්විය හැක්කේ වාර දෙකකදී පමණයි. නමුත් 18 වැනි සංශෝධනය මගින් මේ සීමා ඉවත් කළා. ඒ අනුව අසීමිත බලතල ඇති විධායකයක් මේ රටේ නිර්මාණය වුණා.

මේ තත්ත්වය වෙනස් කළ යුතුයි කියලා රටේ මතයක් ඇතිවුණා. ඒ අනුව 19 වැනි සංශෝධනය ඉදිරිපත් වීම සිද්ධවුණා. ජනාධිපතිවරයාගේ සෑහෙන බලතල අඩුකිරීමක් සිද්ධවුණා. ඒ බලතල ලැබුණේ අගමැතිවරයාට නොවෙයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට. එමනිසා අනාගතයේ මේ තත්ත්වය යටතේ බලතල ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සම මට්ටමක පවතිනවා. ශක්තිමත් අගමැතිවරයෙක් බිහිවෙනවා. ඒත් මේ තත්ත්වය තුළ යම් අවුලක් තියනවා. විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන ආයතන දෙක තුළ එකින් එකා පරයා යාමේ තත්ත්වයක් උද්ගත වෙනවා. මෙය එතරම් සුදුසු තත්ත්වයක් නොවෙයි.

19 වැනි සංශෝධනයේ හොඳ දේවල් තිබුණාට මෙහිදී සිදුකරන්නේ උදාහරණයක් ලෙස රුධිරය පරීක්ෂාවකින් තොරව වකුඩුව බද්ධ කිරීමක් වගේ වැඩක්. එතකොට මුළු ඇඟේම තියෙන අනෙක් අවයව කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ පැලැස්තර ඇලවීම හරියන්නේ නෑ. සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව සංශෝධන විය යුතුයි.

ජනපතිට බලතල නැතැයි කීම අමූලික බොරුවක්
– නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන

මේ කාලය තුළ මුලින්ම බලාපොරොත්තු වුණේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරගන්න. අපිට සිද්ධවුණා 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ ගමන සීමා කරගන්න. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න වෙන්නේ ඊළඟ අවස්ථාවකදී. 19 වැනි සංශෝධනයෙන් ඇත්තටම කරගන්න පුළුවන් වුණේ ජනාධිපති ධූරයේ යම් බලතල ප්‍රමාණයක් අඩු කිරීමක්.

නමුත් දැන් මතයක් පතුරුවනවා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වුණා වගේ. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා නාමික ජනාධිපතිපතිවරයෙක්. එයාට බලයක් නෑ අගමැතිට බලය තියෙන්නේ, ඒ නිසා මොකක්ද ජනාධිපතිවරණයට මෙච්චර සල්ලි වියදම් කරන්නේ කියලා. එක අමූලික බොරුවක්. කිසි පදනමක් නැති කතාවක්. 19 වැනි සංශෝධනය මගින් කළේ ජනාධිපතිවරයා සතුව තිබූ බලතල යම් ප්‍රමාණයක් අඩුකිරීමක්. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තු විසුරුවීමේ කාලය, කැබිනට් එක පත්කිරීමේදී අගමැති විමසීම ආදී මූලික කාරණාවන්. ඒ හැරෙන්න විධායක ජනාධිපතිවරයාට තිබුණු බලය සීයට හැත්තෑපහකට අසූවකට වඩා තියෙනවා.

ඇත්ත වශයෙන්ම 19 වැනි සංශෝධන හේතුවෙන් නෙවෙයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. සිදුවෙලා තියෙන්නේ 19 වැනි සංශෝධන ගෙන එන්න උදව්කරපු ජනාධිපතිවරයා එහි සාරය පිළිබඳ කිසිදු අවබෝධකින් තොරව සහ ඊට විරැද්ධව කටයුතු කිරීම. මේ සංශෝධනයේ මූලික හරය විරුද්ධව දැන් ජනාධිපතිවරයා කටයුතු කරන නිසා තමයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ. එහෙම නැතුව 19 වැනි සංශෝධනයේ තියෙන ආවේනික අවුල් නිසා නොවෙයි. 19 වැනි සංශෝධනය පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කරනවා නම් එහි තියෙන්නේ අවසන් නොකළ කාර්යභාරයක්. එවැනි අතරමැදි කාර්යභාරයක් ඇතුළත යම් ගැටලු ඇතිවෙන්න පුළුවන්. – Deshaya