නික්ම ගිය මහැඳුරු කාලෝ ෆොන්සේකා

කාලෝ ෆොන්සේකා 1933 මාර්තු 4 වෙනි දා ගම්පහ දිවුලපිටියේ දී උපත ලබනවා. ඔහු මීගමුව මාරිස්ටලා විද්‍යාලයෙන් හා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිප් සතර හදාරා තිබෙනවා. ඉන්පසුව ඔහු තමන්ගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇතුලත් වෙන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට යි. ඒ 1955 වසරේ දී යි. ඉන්පසුව ඔහු පළමු පන්තියේ සාමාර්ථයක් සමඟ 1960 වසරේ දී තමන්ගේ උපාධිය නිමා කරනවා.

වෛද්‍ය උපාධිය සමත්වීමෙන් අනතුරුව ඔහු තමන්ගේ පුහුණු කාලය ගත කරන්නේ කොළඹ ජාතික රෝහලේ යි. ඒ ආචාර්ය කේ. රාජසූරිය හා ජේෂ්ඨ ශල්‍ය වෛද්‍ය නොයෙල් බර්තොලමියුස් යටතේ යි. ඉන්පසුව ඔහුව මිහිරිගම මූලික රෝහලට යොමු කරනු ලබනවා. ඒ ඔහුගේ උපන් ගමට ළඟම රෝහල එය වූ නිසයි. කෙටි කාලයක සේවාවෙන් පසුව ඔහු 1962 ජනවාරි 01 වෙනි දා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙනවා. ඒ කායික විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයෙක් ලෙසයි.

1962 වසරේ ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කායික වෛද්‍ය අංශයට එකතු වෙන අවස්ථාවේ එහි සිට ඇත්තේ ගුරුවරුන් තිදෙනෙකු පමණයි. අනෙක් ගුරුවරුන් ඒ වනවිට පේරාදෙණිය නව වෛද්‍ය පිඨයේ ඉගැන්වීම් වෙනුවෙන් ගොස් තිබුණා. ඔහු වර්ෂ 1964 දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලය කරා යන්නේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට යි. එයින් පසු 1967 ජනවාරි මාසයේ නැවත මව්බිමට පැමිණෙන ඔහු දේශපාලන කටයුතු වෙනුවෙනුත් වක්‍රව හා සෘජුව (කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවට තරඟ කර නැත) සම්බන්ධ වෙනවා.

කාලෝ ෆොන්සේකා 1988 වසරේ දී රට අත්හැර යනවා. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඔහු විසින් විජය කුමාරතුංගයන්ගේ දේහය මිහිදන් කරන අවස්ථාවේ සිදුකළ කතාව යි. එය කෙතරම් ප්‍රබලද යත් එහි ප්‍රතිපලයක් ලෙස ඔහුට මරණ තර්ජන පවා එල්ල වෙනවා. එයින් සති දෙකකට පසුව ඔහු රට හැර පින්ලන්තය බලා යනවා. ඒ සමඟම ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයටත් සමු දෙනවා.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු පීඨාධිපතිවරයා

කාලෝ ෆොන්සේකා 1992 වසරේ නැවතත් ලංකාවට එන්නේ පෞද්ගලික අංශය සතුව පැවති, පසුව රජයට පවරාගත්, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු පීඨාධිපතිවරයා ලෙස යි. ඔහු එහි 1997 වසර දක්වා සේවය කරනවා. ඒ වගේම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පස්චාත් උපාධි ආයතනයේ කළමනාකාරිත්වයේ සභාපතිවරයා ලෙස 1996 – 97 දක්වා හා 98 – 2001 දක්වා කටයුතු කරනු ලබනවා. 2000 වසරේ දී කොළඹ වෛද්‍ය විද්‍යාලය විසින් ඔහුව ගෞරව සහිතව විශ්‍රාමගත් මහාචාර්යවරයෙක් ලෙස නම් කරන අතර පසු කැළණිය විශ්ව විද්‍යාලයත් ඔහුව එසේම නම් කරනවා.

වෛද්‍ය සභාවේ සභාපති

පසුගිය කාලය පුරාවටම වෛද්‍ය සිසුන් විසින් සයිටම් ආයතනයට එරෙහිව රැගෙන ගිය හා රැගෙන යන විරෝධතා ව්‍යාපාරයට ඔහු තම සහයෝගය සෘජුවම ලබා දෙනවා. ඔහු 1980 උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනෙත් විශාල කාර්යයක් ඉටුකළ අයෙක්. 2012 ජනවාරි මාසයේ දී වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඇරඹෙන ඔහුගේ පත්වීම 2016 දෙසැම්බර් මාසයේ නිමාවීමට තිබුණත්, එය මාස හයකින් දීර්ඝ කෙරෙන අතර ඔහු 2017 ජූනි මාසයේ ඒම තනතුරෙන් ඉවත් වෙනවා.

ගිනි පාගන්න ඕන කෙනෙකුට පුළුවන්

කතරගම දේවාලය ආශ්‍රිතව විශේෂයෙන්, හා ලෝකය පුරා බොහෝ ස්ථාන වල, දේව වරමකින් යයි කියමින් සිදුවන ගිනි පෑගීමේ ක්‍රියාව එසේ නොවන බවට ලොවටම ප්‍රකාශ කිරීමට මහත් දේ කළ අයෙකු ලෙස කාලෝ ෆොන්සේකා සැලකෙනවා.

1970 සැප්තැම්බර් මස දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පැවති ප්‍රදර්ශනයක දී හෙතම ගිනි පාගා පෙන්නුවේ එම ක්‍රියාව කිරීමට කිසිදු පේ වීමක් හෝ විශේෂ සූදානමක් හෝ අවශ්‍ය නැති බව කියමිනුයි. බැතිමතුන් ගිනි පෑගීමට පෙර සිදුකරන පේවීමට හාත්පසින්ම වෙනස් ලෙස, එහි දී එම පිරිස ඌරු මස් කා මත්පැන් බී ගිනි පෑගුවා. මෙම ක්‍රියාව සමග රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වූ අතර සමහරක් බැතිමතුන් එයට එරෙහිව ද නැගී සිටියා. ඔහුගේ මතයට විරෝධය පෑ අය අතර පූජ්‍ය පක්ෂය පමණක් නොව, හිටපු මහා බැංකු අධිපතිවරුන්, මන්ත්‍රීවරුන්‌, හා සමහරක් වෛද්‍යවරුන් ද වුණා. කෙසේ නමුත් අවසානයේ මෙයට අදාලව විවෘත අභියෝගයක් ද බාරගත් මෙතුමා එය ද සමත් වූ අතර මෙම කරුණ කෙතරම් දුර දිග ගියේ ද යත් කාලෝ ෆොන්සේකා මහතාගේ මතයට එරෙහිව 1970 සැප්තැම්බර් මස 28 වෙනි දා කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරයේ දී ගිනි පාගන්නන්ගේ හා කතරගම බැතිමතුන්ගේ සංගමය ද පිහිටුවනු ලැබුවා.

සිංදු ලියන දොස්තර

එකල විජයගේ සිදුවීමෙන් පසුව පින්ලන්තයට යෑමෙන් අනතුරුව ඔහු අතින් “රත්තරං දුවේ” ගීතය ලියවී තිබෙනවා. ඔහු එහි සිටි වසර දෙකක පමණ කාලය තුල ඔහුගේ දියණිය එරට පැමිණ තිබෙනවා. ඒ තම දරුවා ප්‍රසූත කිරීම සඳහා යි. එයින් පසුව ඇය නැවත ලංකාවට ගොස් තිබෙන අතර එම කාලය තුල දී ඔහුට ඇති වුණ හැඟීම පදනම් කරගෙන මෙම ගීතය ලියවී තිබුණා. එසේම ඔහු විසින් රෝස කුසුමේ, රුදුරු තුරු වදුලේ, හා කොයි ද කියා යන ගීත ද රචනා කර තිබෙනවා.

තව ද තමන්ගේ සේවා කාලය තුළ ලෙඩුන් සම්බන්ධ ඔහුගේ විනිශ්චයේ දෝෂ නිසා ලෙඩුන් පස්දෙනෙක් අභාවප‍්‍රාප්ත වී තිබෙන බව එංගලන්තයේ ප‍්‍රකාශයට පත් කරන බි‍්‍රටිෂ් මෙඩිකල් ජර්නල් (B.M.J.) සඟරාවට 1966 කළ පාපෝච්චාරණය ලොව පුරාම වෛද්‍යවරුන් අතර ඉහළ පිළිගැනීමකට ලක් වුණා.

පසුගිය දා ජපාන රජය විසින් ඔහුට “The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon” නම් සම්මානය පුදනු ලැබුවා. ඒ ජපාන සංස්කෘතිය ශ්‍රී ලංකාව පුරා පැතිරවීම වෙනුවෙන් ඔහු කරන ලද සේවය අගයමිනුයි.

නූතන සමාජයේ ද නොයෙක් කටයුතුවල දී තමන්ගේ සහභාගීත්වය හා සහයෝගය ලබාදෙමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා රට වෙනුවෙන් කරන ලද සේවය පැසසිය යුතුම වෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න