ලාංකීය සිසුවියගේ ඝාතකයින් සෙවීමට මහජන සහය පතයි

පසුගිය සතියේ මෙල්බර්න් නුවර ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුවියක් වන නිසලි පෙරේරා මෙනවිය ඝාතනය කළ බවට සැලකෙන පුද්ගලයින්ගේ ඡායාරූප වික්ටෝරියානු පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ Clayton මණ්ඩපය ඉදිරිපිට පදික මාරුවෙන් පාර මාරු වීම සඳහා ගමන් කරන විට මෙම ශ්‍රී ලාංකික සිසුවියව අදාළ පුද්ගලයින් පැමිණි මෝටර් රථයෙන් හප්පා පැනගොස් තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ නිසලි ජීවිතක්ෂයට පත්ව තිබේ.

පදික මාරුවේ “කොළ පැහැති මිනිසාගේ” රුව දැල්වූ විට නිසලි පාර මාරුවූ බවත් ඇයගේ කිසිදු වැරැද්දක් නොමැති බවත් ඒ ස්ථානයේ CCTV  දර්ශන නැරඹු පොලීසිය පවසයි.

මාර්ගයේ වර්ණ සංඥා එළි රතු පැහැ ගැන්වී තිබූ ඒ අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි අඳුරු පැහැති Mazda මෝටර් රථය රතු පැහැති වර්ණ සංඥා එළි නොතකා ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව මේ වන විට ඔප්පු වී තිබේ.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ ගැටී නිසලිව මීටර් 500 ක් පමණ දුරට විසිවී ඇති බවද එම CCTV  දර්ශන වලින් අනාවරණය වී තිබේ.

VIC Police release images in hunt for alleged fatal hit-run driver that killed Sri Lankan International Student.

මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ Clayton මණ්ඩපයේ වානිජ සහ ව්‍යාපාර සම්බන්ධ උපාධිය හදාරමින් සිටි නිසලි අවසන් වසරේ අධ්‍යන කටයතු වල පසුවෙමින් සිටි බවද වාර්තා වේ.

එමෙන්ම ඇය සිය පවුලේ එකම දරුවා ලෙසද සඳහන්.

නිසලි පෙරේරා යනු සමාජශීලී කරුණාවන්ත චරිතයක් බවත් වික්ටෝරියානු පොලීසිය තොරතුරු හෙළිකර සිටී.

නිසලිගේ ඝාතනයට සම්බන්ධ මේ වන විට පැනගොස් සිටින පුද්ගලයින් දෙදෙනා ගේ CCTV දර්ශන සහ ඡායාරූප වික්ටෝරියානු පොලීසිය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළේය.

ඒ අනුව 37 හැවිරිදි Shane Cochrane සහ 33 හැවිරිදි Lauren Hindes නමැති දෙදෙනා මේ ඝාතනයට සම්බන්ධ බව වික්ටෝරියානු පොලීසිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධව පූර්ණ විස්තරයක් ලබාගැනීමට මොවුන් දෙදෙනා අවශ්‍ය කර ඇති බව වික්ටෝරියානු පොලීසියේ පොලිස් පරීක්ෂක Stuart McGregor පවසයි.

VIC Police release images in hunt for alleged fatal hit-run driver that killed Sri Lankan International Student.

Shane Cochrane නැමැත්තා Bayswater ප්‍රදේශයේද Lauren Hindes නමැත්තිය Clayton ප්‍රදේශයේද වාසුය කරන බවට හෙළිවී තිබේ.

මොවුන් පිළිබඳව හෝ මේ සිද්ධිය සම්බන්ධව කුමන හෝ තොරතුරක් දන්නා යම් පුද්ගලයෙකු වෙතොත් 1800 333 000 යන දුරකතන අංකයෙන් Crime Stoppers සේවාව අමතන මෙන් ද පොලීසිය දන්වයි.