වගකීම ජනතාවට භාරයි / සුනිල් හදුන්නෙත්ති

කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍යවලට විවෘත කිරීමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය සහ එම කමිටුවේ බලසීමාව; ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක නම් කිරීම සහ එජාප ශ්‍රීලනිප අපේක්ෂයන් ප්‍රමාදවීම තුළ ඇති වී තිබෙන දේශපාලන වටපිටාව සහ ජනතාවගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ අවධානය යොමු කරමින් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එහා ඉවුරට එක් වේ.

* මේ දිනවල රාජ්‍ය ආයතන 9ක් කෝප් කමිටුවට කැඳවලා තියෙනවා. ඒවායේ විමර්ශන කොහොමද සිදු කෙරෙන්නේ?

කෝප් කමිටුව ගැන මේ රටේ පොදු මහජනතාව වැඩි උනන්දුවක් හා විශ්වාසයක් තියෙන එක ගැන මම සතුටු වෙනවා. කෝප් කමිටුවෙන් කෙරෙන්නේ විමර්ශනයක්. මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, විගණකාධිපතිවරයා සහ අනෙකුත් රාජ්‍ය ව්‍යාපාරවල නිලධාරීන් සහ ඒ ආයතන පාලනය කරන අධ්‍යක්ෂ මණ්ඩල කැඳවලා ඔවුන්ගේ කටයුතු පිළිබඳ සමාලෝචනය කරලා හඳුනා ගන්නා කරුණු අපි නැවත පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.

*හෙළි කරන තැනින් එහාට සිදුවන්නේ මොකක්ද කියන එක කෝප් කමිටුව ගැන උනන්දුවක් දක්වන ජනතාවට ප්‍රශ්නයක්?

අපි කෝප් කමිටුව ගැන ජනතාව දක්වන උනන්දුව ගැන සතුටු වන්නෙම, ඔබ අහන ප්‍රශ්නය නිසාම යි. රටේ දූෂණ, වංචා, අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන අනෙකුත් ආයතන දේශපාලන බල අධිකාරිය විසින් යටපත් කරගෙන තියෙන නිසා, හොර මැරකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරලා ස්වාධීනව කටයුතු කරන්න ඔවුන්ට ඉඩ නොදෙන නිසා, ජනතාවට හිතෙනවා මේ හැම එකක් ම කෝප් කමිටුවට කරන්න පුළුවන් කියලා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැවරිලා තියෙන කටයුත්ත කෝප් කමිටුවට කරන්න බැහැ. කෝප් කමිටුව කියන්නේ නඩු අහලා තීන්දු තීරණ දෙන හා දඩුවම් දෙන තැනක් නෙවෙයි. කෝප් කමිටුව කියන්නේ විමර්ශන කටයුත්තක් කරන තැනක්. විමර්ශනය කරන ආයතන සම්බන්ධයෙන් යම් යම් නිර්දේශ නිකුත් කරන්න කෝප් කමිටුව බැඳිලා ඉන්නවා.

* අද කෝප් කමිටුවේ දකින්න තියෙන විශේෂත්වය තමයි, ජනමාධ්‍යයට විවෘත වීම. මීට පෙර එහෙම විවෘත වීමක් දකින්න ලැබුණේ නැහැ. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

මම කලින් කිව්වා වගේ, කෝප් කමිටුව විමර්ශනයට ලක් කරන ආයතන සම්බන්ධයෙන් මීට පෙරත් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. නමුත්, ඒවා ගියේ කුණු බක්කියට. සමහර ඇමැතිවරු ඒවා යට කළා. සමහර නිර්දේශ දේශපාලන බලය විසින් ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. දැන් තියෙන විශේෂත්වය තමයි මේ විමර්ශන කාර්යය ජනමාධ්‍යයට විවෘත වීම නිසා, සිදුවුණ වැරැදි මොනව ද? වැරැදිවලට හවුල් වෙලා ඉන්නේ කවුද? වැරැදි කරන්නේ කවුද? වැරැදිවලට උදව් කරන්නෙ කවුද? වැරැදි හංගන්නෙ කවුද? කියලා ජනතාවට ඒ මොහොතේම දකින්න ලැබෙනවා. එතකොට අපි දෙන නිර්දේශ ක්‍රියාත්මක කළත් නැතත්, කවුද හරි, කවුද වැරැදි කියලා තීරණය කරන්න දැන් ජනතාවට බාර වෙලා තියෙනවා.

* මහ බැංකු බැඳුම්කර වංචාව රටට හෙළි වුණා. වංචාවේ මහ මොළකරුවන්ගේ ෆයිල් තියෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වා ?

ෆයිල් තියෙනවා කියලා හිටපු ජනාධිපතිවරයාත් කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයා එදා කිව්වේ, මගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ ෆයිල් මගේ ළඟ තියෙනවා කියලයි. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ෆයිල් එක දැන් ඉන්න ජනාධිපතිතුමා ළඟ තියෙනවා නම්, ජනාධිපතිවරයාට කරන්න බැරි වැඩේ මට කොහොමවත් කරන්න බැහැ. එහෙම නම් ජනාධිපතිවරයා මේ වැරැදිකරුවන් නීතිය ඉස්සරහට ගේන්න කැමැති නැහැ, නැත්නම් ගේන්න බැහැ. ඔය දෙකෙන් එකක් තමයි එතැන තියෙන ප්‍රශ්නය.

* ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ කියන එක ද ඔබ කියන්නේ?

නෑ කියන එකට වඩා මෙතැන තියෙන්නේ බෑ කියන එක වගෙයි මට පේන්නෙ. දැන් නිකමට හිතන්න ඔබට හරි මට හරි මේ වගේ වරදක් කරලා හැංගිලා ඉන්න පුළුවන් ද? සාමාන්‍ය මිනිහෙකුට වරදක් කරලා හැංගිලා ඉන්න බැහැ. මේකෙන් කියන්නේ මහ බැංකු අධිපතිවරයාට වුණත් වරදක් කරලා හැංගිලා ඉන්න පුළුවන් නීතියේ හිඩැසක් තියෙනවා කියන එක. මහ බැංකුවට නෙවෙයි ගමේ බැංකුවට රුපියල් ලක්ෂයක් පොලු තියලා මිනිහෙකුට හැංගිලා ඉන්න බැරි වුණාට මහ බැංකුව කඩලා හැංගිලා ඉන්න පුළුවන් ඒකනේ මේ කියන්නේ.

* රාජ්‍ය දූෂණ, වංචා, අක්‍රමිකතා නවත්වනවා යැයි කියූ හැම පාලනයම අවසන් වුණේ දූෂණයෙන්. නමුත් කවුරුත් ආයෙත් ජනාධිපතිවරණයකට යන්න ලෑස්තිවෙලා කියන්නෙ රට හදනවා කියලයි?

ඕනෑම වේදිකාවක රට හදනවා කියලා කියන්න දේශපාලකයන්ට පුළුවන්. කලින් ආණ්ඩුව කරපු වැරැදි නිවැරැදි කරනවා කියලා කියන්න පුළුවන්. දැන් තියෙන ආණ්ඩුව ඇවිල්ලා පහුගිය ආණ්ඩුවට වඩා හොඳට වැරැදි කළා. මේ අය ම ආයෙත් කියනවා අපි ආයෙ ආවොත් කරන්නේ නැහැ කියලා. කලින් වැරැදි කරපු අයත් කියනවා, අපි ආයෙ ආවොත් වැරැදි කරන්නෙ නෑ කියලා. කියන්න පුළුවන් ඕනෑ ම කෙනකුට. මෙතැන තීන්දුව දෙන්න ඕනෑ මහජනතාව. මේ අය බලය ගන්න කම් මෙහෙම කියනවා ද? බලය අරගෙන කියපු දේ කරනවා ද? කියන තීන්දුව තියෙන්නේ මේ රටේ පොදු මහජනතාව අතේ. ජනාධිපතිවරණයක් කට මුල තියාගෙන ජනාධිපතිවරයෙක්ගේ බලතල ඉක්මවා කවුරු හරි කතා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ හැදෙන වේදිකාව ජනතාවගේ බලය ගන්න විතරයි කියන එකයි.

* දේශපාලන බල තුලනය සඳහා පමණක් ජනප්‍රිය සටන් පාඨ ඉදිරිපත් කළත්, ඇත්තටම ඒ කියන දේවල් කරන්නේ නැහැ කියන එකද ඔබ කියන්නේ?

ඒක පැහැදිලිව ඔප්පු වෙලයි තියෙන්නේ. මම ඒ ගැන කියන්න ඕනේ නැහැ. ඒ ඒ අයට බලය දීපු ජනතාවට ම තීන්දුවක් ගන්න පුළුවන්. දැන් ජනතාව වචනවලින් හෙම්බත් වෙලා, ඒ අයගේ ක්‍රියා කලාපවලින් හෙම්බත් වෙලා, හොරකම් කරන්නෙ නැහැ කියලා ආපු අය තිබ්බටත් වඩා හොරකම් කරලා තියෙනවා. තවදුරටත් ජනතාව රවට්ටන එක කරන්න බැහැ. මෙතනදී තවදුරටත් පරණ පුරුදු දේශපාලනය කර කර රැවටෙනවද කියලා ජනතාවත් තීරණය කරන්න ඕනෑ.

* ජාතික ජන බලවේගය ඔබ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ පාර ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කළා. මේ රාජ්‍යයේ දූෂණ, අක්‍රමිකතා වළක්වන්න එතුමට පුළුවන් වෙයි ද?

පුළුවන් වෙයි ද? කියන එක නෙවෙයි තියෙන ප්‍රශ්නය. හිටපු එක පාලකයකුටවත් පුළුවන් වුණාද? පුළුවන් වුණා කියන එක නම් ජනතාවට ප්‍රශ්නයක් නැහැ. බැරි වුණා නම් ප්‍රශ්නයට උත්තරයක්, විකල්පයක් ජනතාව හොයන්න ඕනෑ. මේ යන පාරෙම, ඒ යන ගමනෙම යනවා ද කියන එකයි දැන් ජනතාවට තියෙන ප්‍රශ්නය. දැන් රටේ තියෙන්නේ පුළුවන් ද? බැරි ද? කියනවාට වඩා විකල්පයක් අවශ්‍ය ද? නැති ද? කියන එකයි. රටේ වත්කම් වගේ දොළොස් ගුණයක් රටේ ණය බර තියෙනවා, රටේ ජාතික ආදායම, වසරක ණය පොලිය ගෙවන්න මදි නම්, රටේ ඇති නැති පරතරය ඉහළ ගිහින් නම්, පැත්තක බොන්න වතුර නැතිව තව පැත්තක ජල ගැල්මට ගසාගෙන ගිහින් මිනිස්සු මැරෙනවා නම්, කන්න වෙලා තියෙන්නේ වස විස නම්, බොන්න වෙලා තියෙන්නේ යල් පැන ගිය ඖෂධ නම්, ප්‍රශ්නය මේ රට වෙනස් කරනවා ද? නැති ද? කියන එකයි. ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්, ධෛර්ය සම්පන්න දේශපාලන නායකත්වයක් අද අපේ රටට අවශ්‍යයි. අවශ්‍ය නැහැයි කියලා හිතුවොත්, මේක වෙනස් කරන්න බැහැ කියලා හිතුවොත්, ආයෙ දෙකක් නැහැ, ඉන්න විදිහට ම ජීවත්වෙන්නයි තියෙන්නේ.

* යුක්තිය සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් වසර 71ක් පුරා සුරක්ෂිත වුණේ නැහැ කියලා අපේක්ෂාවේ අපේක්ෂකයා කියනවා. ඒ දේවල් ඇති කරන්න තියෙන වැඩපිළිවෙළ මොකක් ද?

ඉතා පැහැදිලියි, මේ තියෙන වැඩපිළිවෙළින් අයින් වෙන්න ඕනෑ. තියෙන ණය කන්දට තව ණය කඳු ගොඩගහන එක නවත්වන්න ඕනෑ. ඒවා නතර කරන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ඇතුළේ රටේ නිෂ්පාදනය දියුණු කරන්න ඕනෑ. ජනතාව නිෂ්පාදනයට හවුල් කරගන්න ඕනෑ, හවුල් කරගන්න ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට ප්‍රතිලාභ බෙදිලා යන්නත් ඕනෑ. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. මේ රට හදන ආරම්භය තමයි අධ්‍යාපනය. මේ රට හදන්න පටන් ගන්න ඕනෑ අධ්‍යාපනයෙන්. දැන් මොකද වෙලා තියෙන්නේ. අපේ රටේ පාලකයෝ ඉගෙන ගන්න මිනිස්සුන්ට රැකියා දෙන්න බයයි. ඒ හින්දා උගන්වන්නත් බයයි. වැඩියෙන් ඉගැන්නුවොත්, වැඩිපුර විභාග පාස් වුණොත් රස්සා දෙන්න වෙයි කියලා බයයි. මවුපියන් දරුවන්ට වියදම් කරලා උගන්වනවා. ආණ්ඩුව දරුවන් විභාගවලින් ෆේල් කරනවා.

අපි කියන්නේ මේකේ අනික් පැත්ත. දරුවෝ විභාග වලින් පාස් කරන්න ඕනෑ. දිස්ත්‍රික්කයකට එක ගානේ හෝ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනෑ. උපාධිධාරින් වැඩි වැඩියෙන් බිහි කරන්න ඕනෑ. ඒවට බය වෙන්න ඕන නැහැ. උසස් පෙළ පාස් වෙන ළමයින්ගෙන් 50%ක් උපාධිධාරින් වුණා කියලා බය වෙන්න එපා. අපේ රටේ ශ්‍රමිකයන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සුදුසුකම් තියෙනවා සහතික නැහැ. ඒ අයට ලෝකයට යන්න බැහැ. රටේ සම්පත් විකුණගෙන කනවට වඩා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනෑ. දැන් තියෙන අරාජිකත්වයෙන් අපේ රට ගැලවෙන්න ඕනෑ. එහෙම ගැලවෙන්න ඕනේ යල් පැන ගිය දේශපාලනයෙන් නෙවෙයි. නවීන කර්මාන්ත ප්‍රතිපත්තියක්, නවීන අධ්‍යාපන, තාක්ෂණික ප්‍රතිපත්තියක් සහ නවීන කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියක් එක්ක යන පාලනයකට විතරයි මේ රට ගලවාගන්න පුළුවන්.

* ඔබ පක්ෂයේ අපේක්ෂකයා සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කරලා ඉවරයි. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක තව ම අපේක්ෂකයන් නම් කරලා නැහැ. මෙවර ජනපතිවරණය තීරණාත්මක වන්නේ සිංහල බෞද්ධ ජනපදනමත් එක්ක කියලයි ඒ අතර කියන්නේ?

කවුද එහෙම කියන්නේ? පානාතිපාතා, ඒ අය පණ ඇති මිනිස්සුත් මරලා තියෙනවා. අදින්නාදානා, ඒ අය අනුන්ගේ ඒවගෙන් ම යි ජීවත්වෙලා තියෙන්නේ. සුරාමේරය, කාමේසු මිච්ඡා චාරා ගැන කියලා වැඩක් නැහැ. මුසාවාදයම යි හැම තිස්සෙම කටේ. අපි ඇත්ත කතා කරමුකො. ඒ අය පන්සිල් රකින මිනිස්සු ද? කරුණාව මෛත්‍රිය තියෙන මිනිස්සු ද? මොන ආගමික නායකයාගේ ප්‍රතිපත්තිද ඒ අය ළඟ තියෙන්නේ? ආගමික පදනම් ගැන මොන කතාද? ඒ අය ආගම් විකුණගෙන කන අය. ආගම්වාදය අවුස්සන එක හෝ ජාතිවාදය අවුස්සන එක ආගමික පදනම නෙවෙයි. ඒ අය පන්සල් යන්නේ ව්‍යාපාරයක් විදිහට. ඒ අය වොයිස් කට් බෞද්ධයෝ. අපි නිතර දෙවේලේ පන්සලට නොයන්න පුළුවන්. අනුර කුමාර සහෝදරයා ආගම ජීවිතයේ ප්‍රතිපත්තියක් කර ගත්තු කෙනෙක්. ඔහුට ආගමික ජීවිතයක් තියෙනවා. බුදුන් වහන්සේ කිව්වේ බුද්ධ දර්ශනය පිළිපඳින්න කියලයි. අපි ඒක කරනවා.

* මෙවර ජනපතිවරණයේ දී ජාතික ආරක්ෂාව කියන කරුණට වැඩි ඉඩක් තියෙන බව පෙනෙනවා නේද?

ආගමයි, ජාතික ආරක්ෂාවයි ඉස්සරහට දාගෙන එන්නෙ කවුද කියලා දැන් ජනතාවට තේරෙනවා. අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළේ කවුද කියලා දැන් කවුරුත් දන්නවා. මේවා දැන දැනත් බොරුවට නිදා ගන්න අනුගාමිකයෝ ටිකක් ඉන්නවා. ඒ අය නැගිට්ටවන්න බැහැ.

* වසර 30ක යුද්ධයෙන් පස්සේ මේ රටේ ප්‍රතිසංස්කරණ බොහොමයක් කෙරෙන්න තිබුණා. එකක් තමයි ජාතික සමඟිය හා ජනවාර්ගික අර්බුදයට පිළියම් කියන කාරණය. ඒ කාරණාවලට පිළියම් ලැබීමේ ප්‍රමාදය නෙවෙයි ද, රට අර්බුදයට යන්නේ?

මේ අයට ජාතික සමඟිය ඇති කරන්න බැහැ. ඒ අය ඡන්දයට ජාතිවාදය වපුරනවා. ජාතික සමඟිය හා ඡන්දය කියන්නේ ප්‍රතිවිරෝධ දෙකක්. ඒ නිසා ඡන්දයට ජාතික සමඟිය ඉස්සරහට දාන එක නවත්වන්න ඕනෑ. ජාතික ජන බලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක සහෝදරයාටත්, ජන බලවේගය නියෝජනය කරන ජාතිවාදයෙන් තොර, ආගම්වාදයෙන් තොර, ජාතික සමඟිය හා මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අයටත් විතරයි ඇත්තටම ජාතික ආරක්ෂාවත්, මහජන ආරක්ෂාවත් තහවුරු කරන්න පුළුවන් වෙන්නේ.

දුමින්ද අලුත්ගෙදර


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න