රනිල් – සජිත් සාකච්ජා සාර්ථකයි ?

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර  කොළඹ අරලියගහ මන්දිරයේ දී අද රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර තිඛෙනවා..

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී  පැවැත්වීමට අදහස් කරන බවද කියා සිටියා.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක් බවත් සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය පල කර තිඛෙනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩි දුරටත් සාකච්ජා වී ඇතැයි සදහන්.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න