බිනර පොහොය අදයි

බිනර පොහොය ශාසනික වශයෙන් ඉතා සුවිශේෂීය. සරත් කාලය ආරම්භය ද බිනර පොහොයේ සිට එළෙඹේ. සරත් කාලය යනු රටේ සෞන්දර්යයෙන් පිරිපුන් කාලයකි. සාහිත්‍ය කරුවන් අගය කරන කාලයකි. එවන්වූ සෞන්දර්යාත්මක කාලයක බිනර පොහොය දිනය උදාවීම සුවිශේෂීය. එපමණක් නොව ශාසනික වශයෙන් ද බිනර පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත්ය. බුද්ධ ශාසනයට පෙර කාන්තාවන්ට පැවැතියේ පිරිමින්ට වඩා අඩු පිළිගැනීමකි.

විශේෂයෙන්ම බමුණු දහමට අනුව කාන්තාව දුටු තැන වරදෙහි බැ‍ඳෙන, විශ්වාස කළ නොහැකි චරිතයකි. ඒ හෙයින් කාන්තාවට සමාජයේ ගෞරව ප්‍රසංසා සහ ප්‍රසිද්ධ ස්ථානවල පෙනී සිටීම ද තහනම් විය. මෙවැනි තත්ත්වයක් මත කාන්තාවන් සමාජයේ වර්ගයා බිහිකිරීම මත පමණක් පැවැති භෞතික මෙවලමක් සේ ඔවුහු විස්වාස කළහ. ඇතැම් අවස්ථාවන්වල දී ගැහැනු දරුවන් බිහිවීම ද අසුබ කරුණක් ලෙසින් හුවා දැක්විණි.

කොසොල් රජුට තම දියණිය බිහි වූ පසු කණස්සල්ලෙන් පසු වූ බව කියැවේ. එවැනි පරිසරයක් මත ක්‍රි. පූ. 6වැනි සියවසේ සියලු ඉගැන්වීම් දර්ශනයන් අභිබවා යථාර්ථවාදී දහමක් බිහිවිණි. අප ගෞතම සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ දඹදිව පහළ වූහ. එයින් පසු සමාජයේ පීඩනයට පත්ව සිටි සත්ත්වයන්ට උන්වහන්සේගේ ආශිර්වාදය ලැබිණි. ආලෝකය ලැබිණි. සසර දුකෙහි වෙලී සිටි සත්ත්වයන්ට ධර්මයට සමාන ඖෂධයක් ලොව නැතැයි වැටහිණි. සියලු ලෝකයාට මහත් ජයක් සැලසුණි.

බමුණු සමාජයේ නොමැති අවස්ථාවන් බුදුන්වහන්සේ කාන්තාවට ලබා දුන්හ. බුදු දහමේ පෙන්වා දෙන්නේ පුද්ගලයා ස්වභාවය මත හොඳ හෝ නරක අනුගමනය කිරීමෙන් යම් ප්‍රතිඵල ලැබෙන බව පෙන්වා වදාළ සේක. බුදුන්වහන්සේගේ ශාසනයේ උතුම් පැවිද්ද කාන්තාවන්ට ලබාදීමට මදක් ප්‍රමාද විය. එයට හේතුව වූයේ කාන්තා චරිතය ස්වභාවයන්ම මටසිළුටු සියුමැලි නිසාය.

ඒ සුකොමල මටසිලුටු ස්වභාවය පැවිද්ද වැනි කර්කෂ තද ස්වභාවය දැරීමට අපොහොසත් නිසාය. එහෙත් මෙයින් වෙනස්වන කාන්තා චරිතයන් නැතුවාම නොවේ. බුදුන්වහන්සේ සාක්‍ය ජනපදයේ නීග්‍රෝධාරාමයේ වැඩ වසන කල්හි මහා ප්‍රජාපතී ගෝතමී දේවිය තමන් ඇතුළු කාන්තාවන්ට ද අනගාරික ශාසනික පැවිද්ද ලබාදෙන ලෙස බුදුන්වහන්සේගෙන් ඉල්ලා සිටියාය. බුදුරජාණන් වහන්සේ එතුමියගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු නිග්‍රෝධාරාමයෙන් නික්මී විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩිසේක. එවිට මහා ප්‍රජාපතිය ඇතුළු කාන්තාවන් 500ක් රාජ්‍ය වස්ත්‍රාභරණ ඉවත්කොට අලංකාර කෙස් කළඹ කපා හිස මුඩුකොට කහ වස්ත්‍ර ඇඳ යොදුන් 52ක් පමණ වූ දුරක් පා ගමනින් පැමිණ කූටාගාර ශාලාවට පැමිණියෝය.

ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් පැවිද්ද ලබාගැනීමට උත්සාහ කළෝය. එවිට ආනන්ද හිමියන් බුදුන්වහන්සේ වෙත වැඩමකොට මහාප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන 500ක් කාන්තාවෝ මහනවීම පතා පැමිණ ඇති බව සැල කළහ. තවද ස්ත්‍රීන් හට උතුම් පැවිද්ද ලබාදෙන ලෙසද ඉල්ලීය. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම ද තෙවරක් ප්‍රතික්ෂේප කළහ.

පසුව ආනන්ද හිමියන් ප්‍රජාපතියගේ ජීවිතය හා බුදුන්වහන්සේගේ ජීවිතය ගැන පහදා දුන් පසු බුදුරජාණන්වහන්සේ කාන්තාවනට පැවිද්ද ලබාදෙන ලෙස සඳහන් කරන ලදහ.

එයින් පසුව කාන්තාවට පැවිද්ද සහ උපසම්පදාව හිමිවිය. එම කාන්තාව පැවිද්ද ලැබූ උතුම් දිනය වන්නේ මේ උතුම් බිනර පොහොය දිනයයි. එ‍් හෙයින් සම්බුද්ධ ශාසනයේ මෙහෙනි සසුන ආරම්භවූයේ උතුම් බිනර පොහොය දිනයකදීය. මෙය ලෝකවාසී බෞද්ධ කාන්තාවන්ට සුවිශේෂී වූ දිනයකි. සැබැවින්ම ලෝක කාන්තා දිනය ලෙස සැමරිය යුත්තේ ද මෙදිනමය.

කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත දෙහිපේ චන්ද්‍රවිමල හිමි


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න