කැබිතිගොල්ලෑවේ ගමකට අලි ප්‍රහාරයක්

කැබිතිගොල්ලෑව කැලෑපුලියන්කුලම් ප්‍රදේශයට අද (16) අලුයම කඩා වැදුනු වනඅලි රංචුවක් විසින් නිවාස හා වගාවන් රැසකට හානි කොට පලා ගිය බව ගම්වාසීන් පවසනවා.

කැලෑපුලියන්කුලම් ගම්මානයට වනඅලි තර්ජන කලක සිට තිබුනද ඒ සම්බන්ධයෙන් වන ජීවි නිලධාරීන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කර සිටියද මේ වන තුරුත් කිසිදු අවධානයක් යොමු කර නොමැති බවටත් මේ හේතුවෙන් වනඅලි පහරදීමෙන් ගම්මානයේ ජීවිත පවා අහිමි වී ඇති බවටත් ඉදිරියටත් එවැනි අවධානමක් පවතින බවටද ගම්වාසීන් චෝදනා කරනවා.

අද (16) අලුයම් කාලයේදී වනඅලිරංචුවක් කැලෑපුලියනකුලම් ගම්මානයට කඩා වැදී නිවාස 10 කට පමණ හානි කොට ඇති අතර පොල් හා කෙසෙල් වගාවන් රැසක්ම විනාශ කොට පලා ගොස් තිබුණා.

කඩා වැදුනු අලිරංචුව අතරේ නැට්ට කොට අලියෙකු ගම්වාසීන්ට දැඩි තර්ජනයක් වී ඇති අතර එම නැට්ට කොට අලියා නිවසකට කඩා වැදී බිත්තියද පෙරලා දමා තිඛෙනවා.
මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් හෝ මැදිහත් වී ගම්මානයට ඉතා ඉක්මනින් අලිවැටක් ලබා දෙන ලෙසටත් ගම්වදින අලින් පන්නා දැමීමට වනජීවි නිලධාරීන් මැදහත් වන ලෙසටද  ගම්වාසීන් මෙහීදී ඉල්ලා සිටිනවා.