නෙළුම් කුළුණ ගැන ජනපතිගේ කතාවට කොමිසමක් ඉල්ලයි

නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 200 ක් වංචාවක් සිදුවී ඇති බවට ජනාධිපති කළ ප්‍රකාශය ඒ මහතා නොමඟ යැවීමට කවුරුන් හෝ කළ කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුව ඇති බැවින් ඒ ගැන සොයා බලා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙම බරපතල ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකාව හා චීන රජයේ අභිමානයට බලවත් කැළලක් සිදුව ඇති හෙයින් චීන රජයෙන්ද ඊට පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට නියමිත බවද කී මන්ත්‍රීවරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබඳ සැබෑ තත්ත්වය හෙළිකර ඇතැයි ද අනාවරණ කළා.