ඇතැමුන් අර්බුධ මවන්න උත්සාහ කරනවා / එජාප මහලේකම්

එළඹෙන ජනාධිපතිවරණය සදහා තෝරාගනු ලබන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ඒ සමග සන්ධාන ගතවන සෙසු පක්ෂ තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට ඇතැම් පාර්ශ්ව සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ,අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ පුලුල් සන්ධානයකිනි. එම සන්ධානය පිහිටුවීම පිළිබද මේ වනවිට අවසන් එකගතාවට පැමිණ ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙනවා. මෙම එකගතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්ෂයෙන් එම පදනම මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමට කටයුතු කෙරෙන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම නිවේදනයෙන් පෙන්වාදී ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පක්ෂ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගැනේ. ඉන් පසු සන්ධානයට අයත් සියලු පාර්ශ්වයන්ගේ අනෙකුත් සියලු සංවිධාන හා පුද්ගලයින්ගේ සහාය ඇතිව මෙම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්සයේ සියලු දෙනා පූර්ණ වශයෙන් කැපවී කටයුතු කරන බව එම පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරිය වසම් මහතා නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.