ඉරණතිව් දූපතේ යළි පදිංචිවූවන් අර්බුධයක

යුධ සමයේදී ජීවිත ආරක්ෂාව සඳහා කිලිනොච්චිය ඉරණතිව් දූපතෙන් ඉවත් වී වසර 27 කට පසුව නැවත පදිංචියට පැමිණ සිටින පවුල් 157 කට අයත් 300 ක් පමණ දෙනා වෙනුවෙන් මේ වන විට කිසිදු පහසුකමක් නොමැති බවට එම වැසියන් පවසනවා.

ගෙවුනු සතියක කාලය තුලදී ඉරණතිව් දූපතේ මුල් පදිංචි කරුවන් 300 ක් පමණ දෙනා තාවකාලකව කූඩාරම් ඉදිකරගනිමින් එහි නැවත පදිංචි වී ඇතත් ආහාර, ජලය, ඇතුලු යටිතල පහසුකම් කිසිවක් ඉරණතිව් දූපතේ නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යුද්දය හේතුවෙන් 1992 වසරේදී ඉරණතිව් දූපතේ පදිංචිව සිටි පවුල් 178 ක් පමණ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉවත් වූ අතර පසුව කොටි සංවිධානය පලවා හැර නාවික හමුදාව විසින් ඉරණතිව් දූපත අත්පත් කරගැනීමෙන් පසුව පසුගිය 2018 වසරේදී දූපතේ භූමිය පරික්ෂා කොට නැවත සාමාන්‍ය වැසියන් වෙනුවෙන් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.

වර්ගකිලෝමීටර් 6 ක පමණ භූමියකින් යුතු ඉරණතිව් දූපත සින්න ඉරණතිව් හා පෙරිය ඉරණතිව් වශයෙන් කොටස් දෙකකට වෙන් කොට ඇති අතර ඉරණතිව් දූපතේ එවකට සිටි වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූවේ ධීවර කර්මාන්තයයි.

කෙසේ වෙතත් නැවත පදිංචිය සඳහා පැමිණි වැසියන්ගේ පිරිසක් නැවතත් සුපුරුදු පරිදි ධීවර කර්මාන්තයේ යෙදීම ආරම්භ කොට ඇති අතර ඉරණතිව් දූපතේ නැවත පදිංචියට පැමිණෙන සියලු වැසියන් වෙනුවෙන් ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය ධීවර ආම්පන්න ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දෙන ලෙසට එම වැසියන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා. වන්නි රොමේෂ් මධුෂංඛ