සුදූ වෑන් රථයකින් පැහැරගත් දෙදරු පියා සොයාගනී/ සැක 3ක් අල්ලයි

මාතර බෙරලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුගිරිය ප්‍රදේශයේදී අතහැර දමා ගොස් සිටියදී සොයාගෙන තිඛෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ මෙම පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ එයට භාවිතා කළ වෑන් රථ දෙකින් එකක් ද පොලිස් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවයි.
ඊට යොදාගත් වෑන් රථය කුලී පදනම මත ලබාගත් එකක් බව මේ වන විට හෙළිවී තිඛෙනවා.
මෙසේ පැහැරගැනීමට ලක්ව සිටි දෙව්ලියද්ද පාර , බෙරලපනාතර ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නිලධාරියෙකු ලෙස කටයුතු කරන අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධ ගැටළුවක් මේ සදහා මුල්ව ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඔහු සිය දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවා නිවසට යමින් සිටියදි පැහැර ගැනීමට ලක්ව තිබුණේ ඉදිරිපස අංක තහඩු නොමැති සුදු වෑන් රථ දෙකකින් පැමිණි කණ්ඩායමක් විසිනුයි.
පොලිසිය නොමග යැවීමට පැහැර ගැනීමෙන් අනතුරුව එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසටත්, අනෙක් වෑන් රථය කොටපොල දෙස සිට ඌරුබොක්ක දෙසටත් ධාවනය වී ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී තිඛෙනවා.