මැතිවරණ සමයේ රජයේ රැකියා සඳහා බදවාගැනීම් නවතන්නැයි ඉල්ලීමක්

රාජ්‍ය ආයතනවල දිගින් දිගටම සිදුවන නිලධාරීන් බඳවා ගැනීම් සහ පත්වීම් ලබාදීම් වළක්වාලීම සඳහා සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන්  දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් දැනුවත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි පැෆරල් සංවිධානය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

මැතිවරණ කාලසීමාව තුළ නිලධාරීන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, බඳවා ගැනීම්, උසස් වීම් හා ස්ථාන මාරු වීම් ලබාදීම නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අවස්ථා ගණනාවකදීම චක‍්‍රලේඛ මගින් දැනුවත් කර ඇතත් දෛනිකව දිවයිනේ බොහෝ පෙදෙස් වලින් නිලධාරීන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් ඒ සඳහා පුහුණු වැඩසටහන් සම්මන්ත‍්‍රණ වැනි විවිධ ක‍්‍රියාමාර්ග භවිතා කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා යැවී යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීප පුවත්පතට සදහන් කර තිබුණා.

මෙවැනි තත්වයන් හේතුවෙන් මැතිවරණයක් පැවතිය යුතු සුජාතභාවයට කැළලක් වන අතරම දේශපාලන පක්ෂ වලට විවිධ සැක සංකා මතු කිරීමට අවැසි වටපිටාව නිර්මාණය කිරීමක් වන බවත් සියලූ අපේක්ෂයන්ට අගතියකින් තොරව තරඟ වැදිය හැකි සම බිමක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සහය වීම සියලූ දෙනාගේ යුතුකමක් බවත් තම ලිපියෙන් අවධාරණය කළ බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට ප‍්‍රථමව රාජ්‍ය ආයතන සතු උපකරණ, දේපල සහ මානව සම්පත මැතිවරණ ක‍්‍රියාකාරකම් සඳහා යොදා නොගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ වෙනත් වගකිව යුතු පාර්ශවයන් දැනුවත් කරන ලෙස 2019 අගෝස්තු 22 දා ලිපියකින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු  කළ බවයි පැෆරල් සංවිධානය පවසන්නේ.