කඩේ යන විද්‍යුත් නාලිකාවලට මැ.කො සභාපති අනතුරු අගවයි

රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල හැසිරීම හේතුවෙන් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුවහොත් මැතිවරණ විධිවිධාන යටතේ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

රූපවාහිනි හා ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාව සතු දෙයක් බැවින් මුදල් යෙදූ පමණින් පෞද්ගලික මාධ්‍යවලට සියයට සියයක නිදහසක් හිමි නොවන බවයි ඔහු කියා සිටියේ.

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපයාමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම අදහස් පල කළා.

“පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා. එම පියවර අපේ විධානවලට ද ඇතුළත් කර තිබෙනවා. රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකා විකාශය කරන පුවතක් හෝ යම්කිසි දෙයක් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුණොත් එහි වගකීම එම සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුයි. මොකද රූපවාහිනි හෝ ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාවට අයිති දෙයක්. එය මහජන දේපළක්. අපිට රාජ්‍ය මාධ්‍ය සෘජුවම පාලනය කරන්න පුළුවන්. එහෙත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ක්‍රියා කරන්න බැහැ.

මාධ්‍ය උපමානවලට අනුව ක්‍රියාකාරීමට වගකිව යුතු මාධ්‍ය ආයතනවලට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්.