කරළිය කළඹන ඡන්ද ලකුණු

මේ දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු පිළිබඳ කතාබහක් නිර්මාණය වී ඇත. ඇතැම් පක්ෂ සහ කණ්ඩායම් ස්වකීය ඡන්ද ලකුණ වෙනස් කිරීමට කිසිසේත් නොඑළඹෙන බව පෙනී යයි. ඇත්තවශයෙන්ම අපේක්ෂකයකුට සුවිශේෂ ඡන්ද ලකුණක් අවශ්‍යද? එය ඔහුගේ ජයග්‍රහණයට කෙසේ බලපායිද? ලකුණ හා පක්ෂය හෝ අපේක්ෂකයා අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක්ද? මේ පිළිබඳ දිවයිනේ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් සිව්දෙනකු පළ කරන අදහස් ආශ්‍රයෙන් මෙම ලිපිය සැකසේ.

ලාංඡනය හොඳ වුණාටම දිනන්න බැහැ!
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි

මිනිසා යමක් පිළිබඳ මුලින්ම තීරණය කරන්නේ දැකීමෙන්. ඊට පසු එම මතය හරිද? වැරදිද? කියලා ප්‍රඥාවෙන් තීරණය කරනවා. ඒ අනුව මුලින් ගත් තීරණය වෙනස් කිරීමට පෙළඹෙන්න පුළුවන්. මුල් මතයේම එල්බගෙන නොසිට එලෙස වෙනත් අදහසකට එන්නේ අවබෝධය මතයි. මිනිසා කාලය හා බුද්ධිය අනුව පරිණත වෙන්නට පුළුවන්. තරුණ කාලයේ කළ ප්‍රකාශ පසුව වෙනස් කරනවා. සංකේත පිළිබඳවද ඔය කියන එක වලංගුයි.

සංකේත ගැනම තදින් සලකන්නේ අනුවණ පිරිස්ය. ඒ අය අතර සංකේතයට වැඩි තැනක් ලැබෙනවා. සංකේතය චිත්‍රණය කර ඇති අයුරු බලනවා. මුලින් ඇහැ ඇදිලා යන්නේ සංකේතයට – එහි වර්ණයට විය හැකියි. මෙලෙස ආකර්ශනය වීම ප්‍රඥාවන්තයා පසුව වෙනස් කරන නමුත් කපටියා ද විවිධ ලාභ ප්‍රයෝජන තකා වෙනස් කරනවා.

මුල් යුගයේ මානවයා සකේත තමා භාවිත කළේ. තම අදහස් ප්‍රකාශ කිරීමට ඔහු අකුරු වෙනුවට සංකේත පාවිච්චි කළා. එහෙත් පසුව දියුණු වන විට සංකේත අතහැර අකුරුවලට ගියා. ඒ වුණත් අකුරුවලට වැඩිය සංකේතවලට උනන්දු වන්නේ එය තම ජීවිතවලට සමීප වූ නිසා විය හැකියි. එය අනුකරණය කරන්න යාම නිසා තමා වර්තමාන දියුණු සමාජයේ ද මේ සංකේත අවශ්‍ය බව සලකන්නේ. ව්‍යාපාර නාමවලටත් සකේත තියෙනවා. ඒ වගේම තමා පක්ෂවලටත් සංකේත තියෙනවා. ඒවා හඳුනා ගැනීමට සංකේත වැදගත්. එපමණයි.

සංකේතවලින් අක්ෂරවලට වඩා ප්‍රබල ලෙස අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බෞද්ධ කොඩිය හා ජාතික කොඩිය ගත හැකියි. එම කොඩිවලින් කොතරම් වැදගත් පණිවුඩ දෙනවද?

ජ්‍යොතිෂයේදී ද මේ සංකේත රටාව ප්‍රයෝජනයට ගන්නවා. ලග්නවලට සකේත තියෙනවා. එහෙත් ජ්‍යොතිෂයේ ඇත්තේ පරම සත්‍ය නොවේ. එහිදී වර්ණ ගැන ද, ගණ ගැන ද යම් පමණකට සලකනවා. ඇයට ප්‍රිය උපදවන වර්ණ තියෙනවා. ඒවාට මිනිසුන්ගේ සිත යොමු වෙනවා. ඒ අනුව යම් දේශපාලන පක්ෂයක් මතක සිටීමට වර්ණය උපයෝගී වෙනවා. එසේම සංකේත ද එසේමයි. සංකේත නිසා ජනතාවට යමක් මතක සිටිය හැකියි.

වචනවල ගණ පිහිටුවනවා. නම්වලට යහපත් ලෙස ගණ පිහිටුවා හැදූවිට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. දේශපාලනයේ විතරක් නොවෙයි සෑම වචනයකම ඒ බලය තියෙනවා. ගණිතයේ ප්‍රමේයන් පිළිගන්නා අයට එය පදනම් කරගෙන ගණිතය සනාථ කරගත හැකියි. එහෙත් එය පිළිනොගන්නා අයට විකල්පයකට යා හැකියි.

දේශපාලන පක්ෂයක වර්ණය හා සංකේත යොදාගන්නේ ඒ අයගේ අනන්‍යතාව පෙන්වීමටයි. එය ජනතාවට ඒවා හඳුනාගන්න පහසු වෙනවා. බෙල් එකට පාසලේ පන්තිවල දරුවන් අවනත වන නමුත් විශ්වවිද්‍යාලවල සිසුන් එයට අවනත වන්නේ නැහැ. මෙය දේශපාලන පක්ෂයක සංකේතය බවට පත්කර ගත්තා යැයි පොදු ජනතාව සැමවිටම එයට අවනත නැහැ.

හස්ති රාජයා කාටවත් මෙල්ල කළ නොහැකියි. බුදු බණේ පවා උපමාවලට හස්ති රාජයා ගෙන තියෙනවා. හස්ති රාජයා සතුන් අතර ප්‍රබලයි. කැපී පෙනෙනවා. එහෙත් එම සංකේතය ගත් විට ඒ ලෙසම දේශපාලන පක්ෂයකට ගලපන්න බැහැ. ඒ මතම ජය ලැබෙන්නේ නැහැ. හස්තය කෙනකුට යමක් ග්‍රහණය කිරීමට අත්‍යවශ්‍යයයි. එහෙත් එය ලකුණ වූ පමණින් ඡන්දදායකයන් එය අත්‍යවශ්‍ය බව සලකන්නේ නැහැ. එහෙම රවටන්න බැහැ. ඒ නිසා මගේ අදහස නම් පාට හෝ ලකුණු යොදාගැනීම දේශපාලනයේ දී එතරම් ප්‍රතිඵලදායී නොවන බවයි.

ලකුණ පස්සෙම දුවලා වැඩක් නැහැ
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය ජ්‍යොතිෂ අගැයීම් රාජ්‍ය සම්මානලාභී මිලාන් වික්‍රමසිංහ

ජනාධිපතිවරණ, පළාත් සභා ඡන්ද, ප්‍රාදේශීය හා නගර සභා ඡන්ද වෙනුවෙන් විවිධ වූ කණ්ඩායම් විවිධ වූ සංකේත ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරිපත් වීම සුලභය. එහිදී එම කණ්ඩායම් විසින් පිහිටුවාගනු ලබන පක්ෂ විසින් සුබ අක්ෂර ගලපා තනාගන්නා සුබ ඵල දෙන නාමයක් මෙන්ම සංකේතයක් ද, පක්ෂයට ආවේණික වූත් ඵලදායී වර්ණයකින් ද මැතිවරණ සඳහා තරග වදිනු ඇත.

සාමාන්‍යයෙන් පක්ෂ ගණනාවක් තරග වැදුණ ද, ප්‍රධාන පක්ෂ අභිබවා සුළු පක්ෂවලට වැඩි ජනවරමක් ලබාගැනීමට නොහැකි වන බව පෙනේ. නමුත් පසුගිය නගර සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ තුන අභිබවා අලුතින් පිහිටුවන ලද පක්ෂ කැපීපෙනෙන ලෙස ජනවරමක් ලැබූ බවක් දක්නට ලැබිණ. යම් යම් ආසනවලට තරග කිරීමට අවකාශ නොලැබීම මෙන්ම එම පක්ෂයේ උදව් මත සුළු පක්ෂ බලයට පත් විය. මෙහිදී විශේෂයෙන් දැකගත හැකි වන්නේ විවිධ වූ සංකේත, පක්ෂ ලාංඡන වශයෙන් භාවිත කළ අතර එම සංකේතවලින් සෞභාග්‍යය ළඟා කර ජයග්‍රහණයට මඟපෑදීමක් සිදුවේ යැයි බලාපොරොත්තු වුවද සෑම මැතිවරණයකදීම මෙම බලාපොරොත්තුව ඉටු නොවූ සහ නොවන බවය. පක්ෂයේ පාට, සංකේතය හා පක්ෂයේ නමට වඩා ඉදිරිපත් වන්නා වූ පක්ෂය මෙහෙයවන්නා වූ ප්‍රධානියාගේ ග්‍රහ බලයේ වාසනාව තදින්ම බලපාන බව කිව යුතුය. මෙහිදී විශේෂයෙන්ම නාමයෝජනා බාරදීමේ සිට මැතිවරණ කටයුතු ආරම්භ කිරීමේ වේලාවත් පක්ෂ ජයග්‍රහණයට ඉවහල් වනු ඇත. බුද්ධිමත් ජනතාව පක්ෂ, පාට, සංකේත, පක්ෂ නාමයන්ට වඩා තරග කරන පුද්ගලයාගේ චරිත ස්වභාවයට මුල්තැන දෙමින් තම ඡන්දය භාවිත කිරීම සාමාන්‍යයෙන් සිදුවන නිසා සංකේත ගැනම තදින් අවධානය යොමු කිරීම වැදගත් නොවන බව කිව යුතුය.

නැකත හා ලග්නය පමණයි වැදගත්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුරා ශ්‍රී ගුණවර්ධන

ලාංඡනය හෝ වර්ජනය වැදගත් වන්නේ නැහැ. ජ්‍යොතිෂය අනුව ලග්නයටයි මූලිකත්වය දෙන්නේ. ඒ අනුව සැලකිව යුතු වන්නේ යම් පක්ෂයක් හෝ සංවිධානයක් ආරම්භ කළ අවස්ථාවේ පවතින තත්කාල ලග්නයයි. උදාහරණ වශයෙන් කිවහොත් 1946 එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට තිබුණේ තත්කාල කුම්භ ලග්නයයි. ඒ පිහිටීමට අදාළව 1951 වසරේ දී බණ්ඩාරනායක මහතා පක්ෂය කඩාගෙන ගොස් අලුත් පක්ෂයක් පිහිටුවා ගත්තා. එයා බලාපොරොත්තු වුණේ එයාගේ පක්ෂයට පංච මහා බලවේගය කැඳවාගන්නයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය සංකේතවත් කරන්නට අතේ ඇඟිලි පහ උපයෝගී කරගෙන ඒවා ප්‍රකාශ කිරීම සඳහා අත ලකුණ ස්වකීය පක්ෂයේ ලාංඡනය ලෙස යොදාගත්තා. එයා බලාපොරොත්තු වුණේ, සත්ව ලෝකයේ සිටින සද්ධන්තයා වන අලියා මෙල්ල කිරීමට අත යොදා ගැනීමටයි. අත යොදාගෙන අලියාට රිද්දවන පුළුවන් බව එයා අතර සිටි ජ්‍යොතිෂවේදීන් පවසා සිටියා. උදාහරණයක් වශයෙන් කිවහොත් අතට ගත් හෙන්ඩුවෙන් අලියා මෙල්ල කිරීම ආදී වශයෙන්. එය අරමුණු කරගෙන තමා අත ලකුණ යොදා ගත්තේ.

එහෙත් මෙය හැමදාම එලෙස බලපෑවේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් අනුර බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, සිරිමාවෝ මැතිනියට එරෙහි වීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂය කඩනවා. පක්ෂය බෙදනවා. නුදුරු අනාගතය ගතහොත් 2015 දී මෛත්‍රීපාල මහින්දට එරෙහිවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩනවා. පසුව එ.ජා.ප. රජයක් තමා බිහිවෙන්නේ. මේ අවස්ථාවේදී අත යොදාගැනීමෙන් බලාපොරොත්තු වූ දේ සිදු වුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජේවීර සීනුව තම පක්ෂ ලාංඡනය ලෙස යොදාගන්නවා. එළාර රජු දවස රජ මාළිගයේ සීනුවක් එල්ලලා තිබුණා, රටවැසියන්ට තමන්ගේ දුක, ගැටලු ආදිය ප්‍රකාශ කිරීමට පහසු වන ලෙසට. දිනක් අම්මා කෙනෙක් පැමිණ සීනුව නාද කරනවා. එළාර රජුගේ පුතා තම රථයට යටකර ඇයගේ පුතා මරාදාලා. එයයි පැමිණිල්ල. අන්තිමට එළාර තම පුතා ද ඝාතනය කරනවා. මෙහිදී පෙන්වන්නේ සීනුවේ බලයයි. එහෙත් අද සීනුවෙන් මෙවැනි දේ සිදුවෙනවාද? සියල්ල සාධාරණ ද යන්න ප්‍රශ්නයක්.

මෙයින් පෙනෙන්නේ ජනතා අපේක්ෂා ඉටුකිරීම සඳහා මෙම ලකුණු වැදගත් නොවන බවයි. විවිධ අය නොයෙක් ලාංඡන යොදාගන්නවා. එහෙත් ඒවායින් ප්‍රකාශ වන අර්ථය තරමට සිදුවන දෙයක් නැහැ. එහෙම වෙනවා නම් ඕනෑ තරම් ශක්තිමත් ලකුණු යොදාගත හැකියි. එහෙම යොදාගත්තා කියලා සිදුවන දෙයක් නැහැ. සියල්ල නිකම් සංකල්ප පමණයි. මෙය ප්‍රතිවාදීන් ජය ලබාගැනීම සඳහා විශ්වය විසින් ඇති කරන ලද මානසික ක්‍රියාදාමයක්. කොහොම වුණත් පක්ෂ හඳුනාගැනීම සඳහා යම් ලාංඡනයක් යොදාගැනීම නරක නැහැ. ඒ මොකද? ජනතාවට එම ලකුණ අනුව පක්ෂය හෝ කණ්ඩායම හඳුනාගත හැකි නිසා. අද වුවද පක්ෂයට වඩා කියවෙන්නේ ලාංඡනයේ නමයි. අලියා, අත, පොහොට්ටුව ආදී වශයෙන්. එහෙත් මේවා තාවකාලිකයි. එකිනෙක කලින් කලට මාරුවෙන්න පුළුවන්. ලාංඡන හෝ වර්ණ සදාකාලික නැහැ. ඒවාට එකතුවන පුද්ගලයන් ද විවිධ හේතු නිසා මාරුවෙනවා. වෙනස් වෙනවා.

ඒ නිසා පැවසිය යුත්තේ කිසිදු විටෙක ලාංඡනය වැදගත් නොවන අතර නැකත හා ලග්නය පමණක් වැදගත් වන බවයි. ලාංඡනවල දිගටම එල්බගෙන සිටීමෙන් සිදුවන්නේ පක්ෂ කැඩීමයි. බිඳවැටීමයි.

භක්තිය විශ්වාසය ඇත්නම් හරි!
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අමරසේන වේගිරිය

ඕනෑම කෙනකුගේ කේන්ද්‍රයේ යම් ග්‍රහ ශක්තියක් තියෙනවා. තමුන්ගේ අනාගතය එම ග්‍රහයන් පිහිටුවා තිබෙන අන්දම විමර්ශනය කර පැවසිය හැකියි. ජ්‍යොතිෂයෙන් ඵලාඵල කියනවා කියන්නේ එයයි. කේන්ද්‍රයේ ලියැවිලා ඇත්තේ තමුන්ගේ කර්ම සටහනයි. එය නිවැරදිව තැනුවොත් ජීවිතය ගැන නිවැරදිව කියන්න පුළුවන්.

එහෙම නැතුව සංකේත හෝ වර්ණ අනුව පුද්ගලයකුගේ හෝ සමූහිකව හෝ අනාගතය තීරණය කරන්න බැහැ. කොච්චර හොඳ සංකේත තිබුණත් ඒවා පාවිච්චි කරලා ජයක් ලබා ගන්න අපහසුයි. මේ මත මිනිස්සු හදාගත් දේවල්. එහෙම නැතුව යථාර්ථවාදී නැහැ. එහෙම වුණත් විශ්වාසය අනුව හරියන්න පුළුවන්. තදබල භක්තියක් විශ්වාසයක් තිබේ නම් ඒ මත යම් ප්‍රතිඵලයක් ලැබිය හැකියි. මෙහිදී ඇතිවන්නේ මානසික ශක්තියක් පමණයි. එය ඇතැම්විට අධි මානසික බලයක් වෙන්නට ද පුළුවන්. එලෙස බලයක් ගොඩනගාගත්විට එයින් හරියන්න පුළුවන්.

උදාහරණයක් ලෙස පැවසුවොත් යම් සංවිධානයක්, පක්ෂයක්, සංගමයක් උදෙසා සුවිශේෂ සංකේතයක් ගොඩනගාගෙන එයින් යහපත් ප්‍රතිඵල ලැබේයැයි තදබල විශ්වාසයක් ඇතිකර ගතහොත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකියි. එය මානසික ශක්තිය මත ගොඩනැගුණු තරංගවල බලය නිසා ඇතිවන්නක්. ඒ අනුව සංකේතයක් විශ්වාස කරනවා නම් එයින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.

ඒ වගේම තමා වර්ණත්. ඇසට සුවය දෙන වර්ණ තියෙනවා. මෘදු වර්ණ වගේම රළු කටුක වර්ණ තියෙනවා. ඒවා ස්පර්ශ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකියි. ඉතින් පක්ෂයකට හොඳ වර්ණයක් යොදාගත්විට යම් යහපත් ප්‍රතිඵලයක් ලැබේවි. උදාහරණයක් ලෙස කිවහොත් කළු පාට කටුක වර්ණයක්. අප්‍රිය වර්ණයක්. කහ – සුදු ශාන්ත වර්ණ ලෙස සලකනවා. රතු අනතුරුදායක වන අතර නිල් – කොළ යහපත් වර්ණයි. ඉතින් කිසිවෙක් තම සංවිධානයට කළු පාට යොදාගන්නේ නැහැ. ඇහැට ප්‍රියමනාප වර්ණයක්ම පාවිච්චි කරනවා. එයින් ලැබෙන ප්‍රතිඵල යහපත් විය හැකියි. ඒ නිසාම තමා දේශපාලන පක්ෂ වුවත් හොඳ වර්ණ පාවිච්චි කරන්න පෙළඹෙන්නේ. එය නොකළ යුතු යැයි කාටවත් කියන්න බැහැ.

ඒ නිසා සංකේත හෝ වර්ණ පාවිච්චියේ යම් සාර්ථක පැත්තක් තිබිය හැකියි. එහෙත් කෙනකුගේ කේන්ද්‍රවලින් නරක ප්‍රතිඵල ලැබෙනවා නම් හොඳ පාටක් – ලකුණක් තෝරා ගත්තාය කියලා යහපතක් වෙන්නේ නැහැ. උඩු යටිකුරු කළ හැකියි. එහෙත් මෙහිදී අන්තවාදීව කටයුතු කිරීම සුදුසු නැහැ. මධ්‍යස්ථ විය යුතුයි. ඒ නිසා මෙය සරල රේඛාවකින් වෙන් කරලා හරිද වැරදිද කියා කියන්න බැහැ. හොඳ හා නරක සංකලනයක්. හොඳ මනසක් ඇතුව කරන දෙයින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සැකයෙන් කරනවා නම් විශ්වාසයක් නැතිනම් යහපතක් වෙන්නේ නැහැ. එහෙත් මේ මතම පිහිටා කටයුතු කිරීම නම් සුදුසු නැති බව කිවයුතුයි. මෙහිදී නම්‍යශීලීත්වය වැදගත් බව සිහිතබා ගත යුතුයි.