වැලිකඩ ඝාතන නඩුව 14 වනදා සිට විභාගයට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද  තීරණය කළා.

ලබන 14 වැනිදායින් පසු බදාදා සහ සිකුරාදා දිනවල මෙම නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන් සිව්දෙනෙකුට සිතාසි නිකුත් කිරීමටයි කටයුතු කළේ.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවනු ලැබුවා.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  පත් කළ අතර 2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේ දී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපති විසින් නඩු පවරා තිඛෙනවා.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් කේෂ්ත‍්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියා.