පාස්කු ඉරිදා විශේෂ කාරක සභාවෙන් නිර්දේශ 08 ක්

අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය වැනි අවාසනාවන්ත සිදුවීමක් නැවත සිදු නොවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් නිර්දේශ 08 ක් ඉදිරිපත් කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ ය.

අප්‍රේල් 21 වනදා මෙරට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම වාර්තාව පිළිබද පැහැදිලි කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

විදේශිකයන් 40 ක් දරුවන් 45 ක් ඇතුළු පුද්ගලයන් 270 ක් මිය ගිය මෙම අවාසනාවන්ත සිදුවීම එකවර ආරම්භ වූවක් නොවන දීර්ඝ කාලීනව ආරම්භ වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වන බවත් රාජ්‍ය තන්ත්‍රයේ සිදුවූ අඩුපාඩු නිසා මෙවැනි තත්වයක් ඇතිවූ බවත් නිසි අවධානයක් දැක් වූයේ නම් මෙම විනාශය අවම කර ගැනීමට ඉඩ තිබූ බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.

මැයි මස 23 වන දා සිට ආරම්භ වූ මෙම කාරක සභාව හමුවේ ජනාධිපති,අගමැති,මැති ඇමැතිවරු නීතිපති ඇතුළු පුද්ගලයන් 51ක් මෙම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙන ලදී.

අවශ්‍ය නම් මෙම වාර්තාව ඉදිරියේදී කතානායකවරයා මගින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ හැකි බවද ලෝකයේ පවතින ත්‍රස්තවාදයත් සමග අප රටේ නීති රීතිද ඒ ආකාරයට සකස් කර ගත යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.අපගේ ජනතාව මේ පිළිබද දැනුවත් විය යුතු නිසා ඒ අනුව මෙම විශේෂ කාරක සභාව කටයුතු කළ බවත් කිසිවෙකුට දඩුවම් පැමිණවීම මෙම කමිටුවේ කාර්ය නොවන බවත් මෙහිදී අදහස් දැක්වූ සම්බන්ධන් මහතා කීය.

මාධ්‍ය හමුව අවසානයේ රවුෆ් හකීම් අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර වාර්තාව සකස් කිරීමේ දී කිසිදු කරුණක් වසන් කිරීමට හෝ බලපෑම් කිරීමට තමා උත්සාහ නොකළ බවද හෙතෙම එහිදී සදහන් කළේය.(news.lk)