අඩමින් පලා ගොස් මිය ගියේ අයිසිස් නායකයා බව තහවුරුයි / ට්‍රම්ප් කියයි

අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල්-බග්දාදි ඇමෙරිකානු හමුදා ක්‍රියාන්විතයකින් මිය ගිය බව නිශ්චිතව තහවුරු කර තිඛෙනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සදහන් කළේ වයඹදිග සිරියාවේ සිදු කළ හමුදා ක්‍රියාන්විතයකින් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ නායකයා මියගිය බවයි.
මෙහෙයුමට එක්කර සිටි අමෙරිකානු හමුදාවේ නිල සුනඛයින් පිරිසක් ත්‍රස්ත නායකයා පසුපස හඹාගොස් තිබූ අතර එහිදී කෑ ගසමින් හා හඩමින් අල් බග්දාදි පලායාමට තැත් කළ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා හෙළි කළේ.
අවසානයේදී උමගක් තුලට පලාගිය ත්‍රස්ත නායකයා පිටවීමට දොරටුවක් නොමැතිවීම හේතුවෙන් එහි සිරව ඇති අතර එහිදී ඔහු තම සිරුරේ රදවාගෙන තිබූ බෝම්බ සහිත ඇදුම පුපුරාවගෙන මියගොස් තිබුණා.
එහිදී මියගිය පිරිසට බග්දාදි සමග සිටි දරුවන් 3 දෙනකුද ඇතුලත්.
සිද්ධිය වාර්තාවූ ස්ථානයේ සිටි තවත් දරුවන් පිරිසක් අමෙරිකානු හමුදා භාරයට ගෙන තිබුණා.
මෙහෙයුමෙන් අමෙරිකානු භටයින්ට කිසිදු හානියක් සිදුව නැහැ.
අල් බග්දාදි අයිසිස් සංවිධානය ආරම්භ කරමින් ලොව පුරා දැවැන්ත මිනිස් ඝාතන රැසක් සිදුකළ අතර ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර පවා අගය කරමින් හඩ පටයක්ද නිකුත් කරනු ලැබුවා.
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ත්‍රස්ත නායකයා සුනඛයකු මෙන් ඝාතනයවූ බවයි.
සිරුරු කොටස් පිළිබද පරීක්ෂණ මගින් ඝාතනයවූ පුද්ගලයා අල් බග්දාදි බව තහවුරු කර තිඛෙනවා.