ජනපති අපේක්ෂකයින් 13ක් කඩේ යන බව හෙළිවෙයි

මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දැක්වීමට අපේක්ෂකයෝ 13 දෙනෙකු ජනපති සටනට පැමිණ ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනාවරණ කරනවා.

මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතකට කරුණු දක්වමින් අනාවරණය කර තිබුණා.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට සහයෝගය දක්වන මෙම අනෙකුත් නියෝජිතයන් 13 දෙනාගේ නියෝජිතයින් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවත් ඔවුනගේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.

මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු සදහන් කළා.

එසේම මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බවයි ඔහු පැවසුවේ.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා අමතර මුදල් ප්‍රතිපාදන අවශ්‍යව ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළා.