හිස්බුල්ලා හා ගෝඨාභයට එල්ල කරන මඩක් ගැන ජනිපෙන් ප්‍රකාශයක්

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා සහ ශ්‍රී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර රහසිගත දුරකතන සංවාදයක් සිදු වූ බවට දැක්වෙන රූප රාමු ද සහිත ව්‍යාජ වීඩියෝපටයක් හිස්බුල්ලා මහතාගේ හැඩරුවට ඉතා සමීප බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජාතිකයකු යොදාගෙන නිර්මාණය කිරීමට එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් සූදානම් වන බව ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර සිටියේය.

මෙම මඩ වීඩියෝව නිර්මාණය කිරීම සඳහා කොළඹ 01, වෝක්ෂෝල් වීදියේ පිහිටි එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් භාරදී ඇත්තේ SHIFT හා GROUP M නැමැති ප්‍රචාරක ආයතන දෙකට බව ද ජයන්ත සමරවීර මහතා මෙහිදී හෙළි කළේය. අදාළ මුස්ලිම් ජාතිකයාට මේ වන විට ලක්ෂ 50ක මුදලක් ගෙවීමට මෙම මඩ මෙහෙයුම් ප්‍රධානීන් එකගවී ඇති බවත්, මෙම රූගත කිරීම්වලින් පසුව එම තැනැත්තා ඔහුගේ පවුල සමග මැලේසියාව වෙත රැගෙන යාමට ද සජිත් ප්‍රේමදාස මඩ බලකායේ ප්‍රධානීන් සැලසුම් කර ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

සහරාන්ලාගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ මේ රටේ බහුතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයේ විසකුරු බවත් එකී අන්තවාදය පැරදවීමට හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවත් ඉතා හොඳින් තේරුම්ගෙන ඇති බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.

ඒ නිසා ‘හිස්බුල්ලා හා ගෝඨාභය’ අතර සම්බන්ධයක් ඇති බව පෙන්වා, ගෝඨාභය රාජපක්ෂයන් වටා රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුළ සැක සංකා ඇති කිරීම මෙම මඩ ප්‍රචාරකයන්ගේ උවමනාව වී ඇති බවත් එවැනි නින්දිත උත්සාහයන් කල්තියා සොයාගෙන පැරදවීම දේශමාමක සියලු ජනකොටස්වල වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නොවැම්බර් 12 වැනිදා රාත්‍රියේ මෙම වීඩියෝපටය, අන්තර්ජාලය ඔස්සේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, යූටියුබ් සමාජ ජාල මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හැරීමට මෙම මඩකරියන් සූදානම්ව සිටින බවත් ඊට පිළිතුරු දීමට රාජපක්ෂ කඳවුරට ඉතිරිව ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන නොවැම්බර් දහතුන්වැනිදා පමණක් බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. හිස්බුල්ලා මහතා සිය සමීපතම අනුගාමිකයන් සමඟ කෙරෙන රහසිගත සාකච්ඡාවක දී ‘ආරක්ෂක ලේකම්තුමා, සර්’ යන ආමන්ත්‍රණය සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා අමතන ආකාරයත්, ඔහුගෙන් උපදෙස් ගන්නා ආකාරයත් රූගත කර වීඩියෝව නිපදවා ඇති බවත් කී ජානිපෙ ජාතික සංවිධායකවරයා, මේවාට රැවටෙන ජනතාවක් අද නොමැති බවත් මෙවැනි මඩ ප්‍රචාර ජනතා සහායෙන් අනාවරණය කර ගැනීමට මහින්ද කඳවුරට හැකි බව එජාප මඩ බලකායට පෙන්වා දීමට කැමැති බවත් අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ