හදිසි පරීක්ෂාවකට රූපවාහිනියට ගිය මැතිවරණ නිලධාරීන්ට බාධා ?

හදිසි පරීක්ෂාවකට රූපවාහිනී සංස්ථාවට ගිය කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට එළියට ඒමට නොදී සිවිල් ආරක්ෂකයන් ජාතික රූපවාහනී සංස්ථාවේ ගේට්ටුව වසා දැමුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

මැතිවරණ කොමිසමේ නියෝගයක් මතයි මෙම හදිසි පරීක්ෂාව සදහා නිලධාරීන් රූපවාහිනී සංස්ථාවට ගමන් කර තිබුණේ.

අද රාත්‍රී මෙම පරීක්ෂාවට පොලිස් නිලධාරීන්ද සමඟ රූපවාහිනී සංස්ථාවට ගිය බවත්, එහිදී අයුතු අවහිරයක් කළ බවත් කියමින් අතිරේක දිස්ත්‍රික්  ලේකම්වරයා පැමිණිලි කර තිඛෙනවා.

ඉහළින් ලැබුණු නියෝගයක් අනුව ගේට්ටුව වසන බව සිවිල් ආරක්ෂකයන් දැනුම්දුන් බවද පැමිණිල්ලේ සදහන්.

කෙසේ වෙතත් රූපවාහිනී සංස්ථා සේවකයන් ප්‍රකාශ කරනුයේ  අනවසරයෙන් ජාතික රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරියට ඇතුළු වීමට ගිය පිරිසක් නතර කළ බවයි. පොලිස් නිල ඇඳුමින් සිටි පුද්ගලයෙක් ප්‍රධාන පාලක මැදිරිය ඇතුළ වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ බවටද ඔවුන් චෝදනා කරනවා.

පූර්ව දැනුම්දීමක් හා නිසි අවසරයක් නැතිව ප්‍රධාන පාලක මැදිරියට ඇතුළුවීම තහනම් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙම සිදුවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද රූපවාහිනී සංස්ථාවට පැමිණ මෙම බාධා කිරීම පිළිබද සොයා බලා තිබුණා.