අයාළේ කඩේ යන මාධ්‍යයට පියවර ගන්න / පැෆරල් ජනපතිට ලියයි

මැතිවරණ සමයේ රූපවාහිනී ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

මැතිවරණ සමයේදී සියලුම මාධ්‍ය විසින් අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන මැතිවරණ කොමිසන් සභාව විසින් 2019 සැප්තැම්බර් 21 දින අංක 2141/87 අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 (ආ) (4) (අ) ව්‍යවස්ථාව යටතේ පනවා ඇති නමුත් ඇතැම් රූපවාහිනී නාලිකාවන් එම මාධ්‍ය උපමාන සඳහා ගරු කිරීමක් සිදු නොකරන බව පෙනී යන බැවින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීප පුවත්පතට සදහන් කර තිඛෙනවා.

මෙම තත්ත්වය නිදහස් හා සාධාරණ මැතිවරණයක තිබිය යුතු සමබිම පවත්වාගැනීම සඳහා බාධාවක් බැවින් රාජ්‍යය සතු රූපවාහිනී නාලිකාවන් පාලනය සම්බන්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසන් සභාවට පවතින නමුත් පෞද්ගලික නාලිකාවන් මාධ්‍ය උපමාන කඩකිරීම සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට නොමැති බව කොමිසන් සභාව විසින් කිහිපවරක්ම ප‍්‍රකාශ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

එසේම මැතිවරණ කොමිසන් සභාව විසින් 2019 සැප්තැම්බර් 19  වන දින නිකුත් කරන ලද අංක 2141/52දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් පොදු දේපල අයථා භාවිතාව පිළිබඳව නියමයන් 7 සියලුම පෞද්ගලික කේබල් රූපවාහිනි නාලිකා, පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන, වෙබ් අඩවි, ජංගම හා ස්ථාවර දුරකථන සේවා සපයන ආයතන ඡන්ද විමසීම් කාලසීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය නොවන පරිදි සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කැ ඇති මාධ්‍ය උපමාන, විධාන හා උපදෙස් චක‍්‍රලේඛවලට අනුකුලව ක‍්‍රියාකරන බවට වගබලා ගැනීම උක්ත සන්නිවේදන ආයතන නියාමනය කරනු ලබන ආයතනවල වගකීමක් විය යුතු බව යැයි ද හෙට්ටිආරච්චි මහතා සදහන් කර තිඛෙනවා.

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත හා 2019 සැප්තැම්බර් මස 9 දින හා අංක  2140/2 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුව  සියලුම රූපවාහිනී විකාශනයන් සම්බන්ධයෙන් නියාමන වගකිම පැවරී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත හා ආරක්‍ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයාට බැවින් සියලුම රූපවාහිනී නාලිකාවන් මැතිවරණ කොමිසන් සභාවේ මාධ්‍ය උපමාන අනුගමනය කළ යුතු බවට වන නියෝගයක් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 31 වන වගන්තිය යටතේ පනවන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු පවසනවා.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ පිටපත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වෙත ද යැවූ බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ.