මීළග ජනාධිපති තෝරන්නේ සූත්තරකරුවන්ද ? සාස්තරකරුවන්ද ? ජනතාවද ?

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජන්ද විමසීම නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතව තිඛේ.
ඒ වෙනුවෙන් ජන්දය භාවිතා කිරීමට නියමිත ජන්දදායකයින් ගණන මිලියන 15කට අධිකය.
අපේක්ෂකයින් 35 දෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියද මැතිවරණ කොමිසමේ වාර්තාවන්ට අනුවම අපේක්ෂකයින් 13 දෙනකු නාම යෝජනා භාරදී ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ රූකඩ ලෙසය.
ඒ අනුව සැබෑ ලෙසම ජනාධිපති සටනට එක්ව සිටින සංඛ්‍යාව සැලකිය හැකිවන්නේ 22ක් හෝ ඊට ආසන්න අගයක් ලෙසය.
මේ වන විටත් ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රචාරණය බහු විධ මාධ්‍යයන් ඔස්සේ සක්‍රීයවී පවතී.
එහිදී මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරණය තුල කැපී පෙනෙන සාධකයක් ලෙස හදුනාගත හැක්කේ ඉර හද ග්‍රහ තරු හරහා රටේ මීළග ජනාධිපතිවරයා පිළිබද අනාවැකි කියන ජ්‍යොතිෂ්‍යවේදීන් හෙවත් සාස්තරකරුවන්ය.
ඔවුන් අතරෙන් මීළග ජනාධිපතිවරයා පිලිබද අනාවැකි කියන්නන් සමාජය හමුවේ පෙනී සිටින්නේ විශ්ව ශක්තිය උකහාගත්තවුන් ලෙසය.
රටේ කේන්ද්‍රය , අපේක්ෂකයින්ගේ කේන්ද්‍රය හා විවිධ කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන් මීළග ජනාධිපතිවරයා කෙරෙහි අනාවැකි පළ කරමින් සිටී.
ඉන් එක් කණ්ඩායමක මතය වන්නේ හංසයා ලකුණ ජනාධිපතිවරණයේදී ජයගන්නා බවය. ඊට සමාන තවත් කණ්ඩායමක් පවසන්නේ පොහොට්ටුවට ජය නියත බවය.
ඒ අනුව ජනාධිපතිවරණ වේදිකාව තුල ජන්ද දායකයින්ගේ මතය පාලනය කිරීමට ඉර හද ග්‍රහ තරු විවිධ ආකාරයෙන් භාවිතා කරමින් පවතී,
2015 ජනාධිපතිවරණ සමයේ ද මෙවන් අනාවැකි බහුලව ඉදිරිපත්වූ අතර ඉන් ඇතැමුන් අනාවැකි වැරදුණහොත් වෙඩි තබාගන්නා බවට පවා උදම් අනන ලදී,
එහෙත් අනාවැකි වැරදී ගියද ඔවුන් අදටද ජීවත්වන්නේ ඔවුන් සතු ඉර හද හා විස්මිත ග්‍රහ බලය නිසාවෙන් විය හැකිය.
එක්තරා ගුවන් විදුලි ආයාතනයකදී අනාවැකි කියමින් සිටි ප්‍රකට ජ්‍යොතිෂ්‍යවේදියකු 2015 වසරේදී ලියුම්කරුට සදහන් කළේ තමන් දන්නා ශ්‍රාස්ත්‍රය සත්‍ය නම් එවක ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා යළි ජය ලබන බවය.
එහෙත් එයද වැරදී ගියද ඔහු වැරදුණු ශාස්ත්‍රයෙන් මෙවරද අපේක්ෂකයකු පිළිබද අනාවැකි පළකරමින් ටේ‍රන්ඩින් වීඩියෝ අතරටද එක්ව සිටීම රටට කෙසේ වෙතත් ලියුම්කරුට අනුව හාස්‍යජනක සිද්ධියකි.
ලෝකය අද වඩාත් දියුණුව ඇති බව අප සැවොම පිළිගත්තද රටට අවශ්‍ය නායකයා තෝරාගැනීමට අප මෙවන් කෙප්ප පසුපස දිවයන්නේ නම් එවන් රටක අනාගතය පිළිබද ඇතිවන්නේ ශෝකයක් පමණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත 250ක් අහිමිවන බව කියන්නට අසමත්වූ සූත්තර සාස්තරකරුවන් රටේ මීළග ජනාධිපතිවරයා පිළිබද අනාවැකි කියන්නේ කෙසේද යන්න බරපතල ගැටළුවකි.
ඒ අනුව මෙවන් විගඩම් දැකිය හැකිවන්නේ චින්තන ශක්තියෙන් නොදියුණු ජන සමාජයක පමණක් බවද අප අකමැත්තෙන් හෝ පිළිගත යුතුව ඇත.
ජනාධිපතිවරණය අවසානයේ කවර හෝ අපේක්ෂකයකු ජය ගැනීම ස්ථිර අතර ඒ රටේ ජනතාව ජන්දය භාවිතා කරන හේතුවෙන් මිස මිනිසාට ළගාවීමටත් නොහැකි ග්‍රහයකු හේතුවෙන් නොවේ.

එහෙත් ජනපතිවරණය අවසන්වූ සැණින් තමන්ගේ අනාවැකිය සැබෑවූ බව පවසා වසර 5ක් ඉර හද තරු බිස්නස් එකක් බවට පත්කර ගැනීමට බොහෝ දෙනකු සමත්වනු ඇත.
එහෙත් සබුද්ධිකව සලකා බැලීමේදී මෙය ෆිෆ්ටි – ෆිෆ්ටි අවස්ථාවකි.
අරයා නැත්නම් මෙයා දිනන බව පවසා එය සැබෑවීමේ සම්භාවිතාවය සියයට 50කි.එය පැවසීමට ජ්‍යොතිෂ්‍යවේදියකුවීමට අවශ්‍ය නැත. එය ඔබටද කළ හැකිය.
ඒ බිරිඳ ගෝඨාභයටත් සැමියා සජිත්ටත් ජන්දය ලබාදී එක් අයකු නිවැරදිවීම තරම්ම සරළ කරුණකි.
එබැවින් රටේ යහපත වෙනුවෙන් පත්කර ගත යුත්තේ කවර පුද්ගලයාද යන්න තීරණය කිරීම ජනතාව තම බුද්ධි මට්ටම් අනුව තීරණය කළ යුත්තකි.
එය සූත්තරකරුවන්ට හෝ සාත්තරකරුවන්ට භාර නොකළ යුතු වන්නේ ජන්දයේදී ඔබ ගන්නා තීන්දුව වසර 5කට පමණක් නොව ඇතැම්විට ඔබගේ නූපන් දරුවන්ගේ ජීවිතවලට පවා බලපෑම් කළ හැකි බරපතල තීන්දුවක් හෙයිනි.ඒ අනුව බඩවියත වෙනුවෙන් ජනතාව රවටන අධමයන්ගේ මතවාදයන්ට රැවටී ඔබගේ ජන්දයට ඇති අයිතියට මානසික වශයෙන් හෝ බලපෑමක් එල්ල කරගත යුතු නැත.
උදෑසන රූපවාහනියෙන් පත්තර නරඹා ඉනික්බිති සාස්තරකරුවන්ගේ කෙප්ප නරඹා රූපවාහිනී නාලිකාවල හිමිකරුවන්ගේ කැමැත්ත අනුව ප්‍රවෘත්ති නරඹන ජාතියක් වෙනස් කිරීම අසීරු වුවද දියණු ජාතියක් බවට පත්වීමට නම් ඔබ ඔබ කෙරෙහිම විශ්වාසය තබා තීරණ ගත යුතු බව අප සිහිපත් කිරීමට කැමැත්තෙමු.