නීතියේ ආධිපත්‍යය රකිනවා / ගෝඨාභය රාජපක්ෂ

නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

වීරවිල ප්‍රදේශයේ අද(13) පෙරවරුවේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, තම රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රට තුළ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරිම බවයි.

රට තුළ ස්ථාපිත කර තිබු වැඩපිළිවෙල නැවත වතාවක් ඇති කරන බවත් පැවසු ඒ මහතා, කිසිදු ත්‍රස්තවාදයකට ඉඩ නොතබන බවත් අවධාරණය කළා.

ජනතාවගේ මෙන්ම ඔවුන්ගේ දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම තමා බාර ගන්නා බවත් පැවසු ගෝඨාභය මහතා, නීතියේ ආධිපත්‍ය සුරකීමට සෑම විටම කැපවෙන බවයි අවධාරණය කළේ.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන හා සුරක්ෂිත කරන රජයක් ලෙස ජනතා අයිතීන් ආරක්ෂා කිරීමට කැපවෙන බවත්, තරුණයින්ගේ මානව සම්පත් දියුණු කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.