නව ජනපති ගෝඨාභය / මැතිවරණ කොමිසම නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 69,24,255 ක් විය. ප්‍රතිශතයක් වශයෙන් එය 52.25 % කි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 55,64,239  ක් ලබාගැනීමට සමත් විය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4,18,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 3.16 % කි.

වසර දහයකට පෙර කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ යුද්ධයේ ප්‍රමුඛ හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම සහෝදරයා ද වෙයි.