රටත් ජනතාවත් අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම අඛණ්ඩව / අනුර

“මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව රටේ අතිවිය හැකි තත්වය පිළිබඳව අප හැම දොනටම පූර්ව අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් අපේ රට ගමන් කළ හැක්කේ කවර දිශාවකටද? ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැක්කේ කවර තර්ජනයක්ද? සිංහල-දෙමළ-මුස්ලිම් ජනයා අතර සමගිය වර්ධනය කරනවා වෙනුවට ඔවුන් අතර සැකය, අවිශ්වාසය, ගැටුම තව තවත් වර්ධනය කිරීමේ දිශාවට යන බව ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත්  අපි නොසැලී සටන් කරන බවට අපි සපථ කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියට එන බව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල අවකාශ මධ්‍යස්ථානයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ ලාල් විජේනායක මහතා, සම්මානනීය සාහිත්‍යවේදී, ජන නියමු කලාකරුවෝ සංවිධානයේ ජයතිලක කම්මැල්ලවීර මහතා, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක මහතා, අලුත් පරපුර සංවිධානේ සුදන්ත මාධව මහතා, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, සම අභිමානී සාමූහිකයේ සාමාජික, ත්‍යාගරාජා වරදාස් මහතා,  ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, ප්‍රවීන සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු ජාතික ජන බලවේගය සමග එක්ව සිටින සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා…

“අප ජාතික ජන බලවේගය ලෙස මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. මෙතෙක් ලංකාවේ දේහපාලන වේදිකාවලට ගොඩ නොවැදුණු කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අපට දායකත්වය ලබා දුන්නා. විශ්වවිද්‍යාල ආචාරයවරුන්, නීතීඥවරුන්, සාහිත්‍යධරයින්, කලාකරුවන්, සාමාජක්‍රියාකාරීන් ආදී විශාල පිරිසක් අපේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අපිට අපේක්ෂාසහගත ඉලක්කයක් තිබුණා. ජනාධිපතිවරණයට ප්‍රධාන කඳවරු දෙකක් පෙළ ගැසී ඇති වෙලාවක මැතිවරණ ව්‍යාපාරය කෙතරම් දුෂ්කරද, අසීරුද යන්න අපි හොඳින්ම දැන සිටියා. ඒ බව දැනගෙනමයි අපි මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණේ. අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. මෙම මැතිවරණ ප්‍රතිඵලය තුළ එම ප්‍රතිඵලය නොමැති බව පැහැදිලියි. නමුත් අපි දන්නවා, ලංකාවේ මෙතෙක් පැවති මැතිවරණ ව්‍යාපාර තුළ විකටජනක, නාඩගම්කාරී වේදිකා අපි දැක තිබෙනවා. එවැනි තත්වයක් තුළ තමයි අපි රට ගොඩනැගීම පිළිබඳ සංවාදයත් මේ රට ගොඩගැනීම පිළිබඳ අසීරුතාවයත්, ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සහ එය විසඳා ගැනීම සඳහා තිබෙන මාවතත් අපි ඉතා හොඳින් ජනතාවට පෙන්වා දුන්නා. ප්‍රතිඵලය කවරක් වුවත් අපි විශ්වාස කරනවා මේ රටටත් රටේ ජනතාවටත් ගත යුතු මාවත වන්නේ, අප විසින් පෙන්වා දෙන ලද මාවත බව. ආර්ථික සංවර්ධනය සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා, යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා, සිංහල-දෙමළ-මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කිරීම සඳහා, රටේ හා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇති මාවත ජාතික ජන බලවේගය විසින් පෙන්වා දෙන ලද මාවත පමණක් බව අපි විශ්වාස කරනවා. ඒ මාවත හැර මැතිවරණ ව්‍යාපාරය තුළ කවර හැඩයක් පෙන්නුම් කර තිබුණත් ජනතාවට තෝරා ගත යුතු මාවත අප විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම අපි දන්නවා, මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව රටේ අතිවිය හැකි තත්වය පිළිබඳව අප හැම දොනටම පූර්ව අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් අපේ රට ගමන් කළ හැක්කේ කවර දිශාවකටද? ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැක්කේ කවර තර්ජනයක්ද? සිංහල-දෙමළ-මුස්ලිම් ජනයා අතර සමගිය වර්ධනය කරනවා වෙනුවට ඔවුන් අතර සැකය, අවිශ්වාසය, ගැටුම තව තවත් වර්ධනය කිරීමේ දිශාවට යන බව ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත්  අපි නොසැලී සටන් කරන බවට අපි සපථ කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියට එන බව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා. මන්ද 71 වසරක් අනුගමනය කරමින් ආ ප්‍රතිපත්ති අපේ රට ගෙනැවිත් තිබෙන්නේ කොතැනටද, ඒවාට අපේ රට ගෙනයා හැක්කේ කොතැනටද යන්න අප ඉදිරියේ විද්‍යමාන වෙමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කළ හැකිද? හැකිළිය හැකිද? අප ඉදිරිපිට ඇති සාකච්ඡා මණ්ඩපය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැකි අනතුර ඉතා හොඳින් අපට පෙන්වා දී තිබෙනවා. මැතිවරණයෙන් පසුව පෙනී යමින් තිබෙන්නේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාව අතර සැකය අවිශ්වාසය වර්ධනය වන තත්වයක් ඇති වී ඇති බවයි.

අප විසින්  ඒ නිසා අන් කවරදාකටත් වඩා වැඩියෙන් අප විසින් ඉදිරිපත් කළ දේශපාලනය, අප විසින් පෙන්වා දෙන ලද ගමන් මාවත මේ රටත් මේ රටේ ජනතාවටත් ඉදිරි ගමන් මාවත වන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා හෙට දවසේද ඒ ගමන් මාවත වෙනුවෙන් කිසිදු පසුබැසීමකින්, අපසු හැරීමකින් තොරව සටන් වදින්නත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් සූදානම් බව අප මේ ජනතාවට ප්‍රකාශ කිරීමට කැමතියි.

ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය තුළ පුළුල් බලවේගයක් නිර්මාණය කරගැනීමට අපට හැකියාව ලැබුණා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාධරයන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, වෘත්තීයවේදීන් ආදීන් විශාල පිරිසකගෙන් සමන්විත බලවේගයක් අප නිර්මාණය කර ගත්තා. මා විහ්වාසය කරනවා එම බලවේගය කවරදාවත් තමන්ට කිසිවක් අපේක්ෂා කරන ලද කණ්ඩායමක් නෙමෙයි. මේ රටත් මේ රටේ ජනතාවත් මුහුණදී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ගෙන් මේ රට ගොඩගැනීම සඳහා වූ අවංක වුවමනාවක් ඔවුනට තිබුණා. මේ ක්‍රියාධරයින් අප හා සමාන ලෙසම මේ ව්‍යාපාරය තුළ විශාල වැඩ කොටසක් කළා. මෙම මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනයාමට ඔවුන් දැක්වූ දායකත්වය පිළිබඳව මම ඔවුනට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඔවුන් දිවා රෑ නොතකා ගම්, නගරවල ඇවිදිමින් පුරවැසියන් මුණගැසෙමින් මේ දේශපාලන කර්තව්‍යය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ජාතික ජන බලවේගය ලෙස ඒ සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙනවා.

මේ මැතිවරණ ව්‍යාපාරය තුළ තීව්‍ර බෙදීමක් සටහන් වුණා. මැතිවරණ ප්‍රතිඵලය තුළත් එය පෙන්නුම් කරමින් තිබෙනවා. එක් කණ්ඩායමක් ජාතිවාදය තමන්ගේ පදනම බවට පත් කරගනිමින් රටේ හා ජනතාවගේ ආරක්ෂාවේ ප්‍රමුඛයන් බවට පත් වෙමින් දේශපාලන මතවාදයක් ව්‍යාප්ත කළා. දකුණේ මැතිවරණ ප්‍රතිඵලය තුළින් පෙන්නුම් කරමින් තිබෙන්නේ එයයි. ඒ වගේම උතුරේ හා නැගෙනහිර ජනතාව ඒ ඇතිවෙන දේශපාලන වර්ධනය සමාජයක් ලෙස තමන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස තේරුම් ගත්තා. ඔවුන් එයින් ආරක්ෂාවීම සඳහා සමාජයක් ලෙස දේශපාලන තීන්දුවකට එළඹුණු බව පේනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය තුළින් ඒ බව පැහැදිලියි. එවැනි තීව්‍ර බෙදීමක් තුළත් ලක්ෂ 04කට අධික ජනතාවක් අප කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ සියලු ජනතාවට අපි ස්තූතිවන්ත වෙනවා. එපමණක් නෙමෙයි. ඔවුන් අප කෙරෙහි විශ්වාසය තබා, ප්‍රකාශ කරන ලද ඡන්දයේ ගරුත්වය, වටිනාකම අප විසින් ලබා දෙන බවටත් ආරක්ෂා කරන බවටත් සහතිකයක් අප රටේ ජනතාවට ලබා දෙනවා.

නැවත වරක් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටීමට තිබෙන්නේ දේශපාලනයේ හැරවුම්. පසුබැසීම්, ව්‍යාකූල තත්වයන් ඇතිවීම් ඕනෑ තරම් ජීවිත කාලය තුළ අප විසින් අත්විඳ තිබෙනවා. කෙසේ වුවද ඒ හැම මොහොතකම යළි යළිත් අප ශක්තිමත් වෙමින්, ධෛර්ය ලබාගනිමින්, යළි යළිත් මාවත හොඳින් විවෘත කරගනිමින් මේ රටත් මේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව මේ රටේ පොදු ජනතාවට අප ප්‍රකාශයට පත් කරනවා.”

“මේ ගොඩනැගුණු එකතුවම ජයග්‍රහණයක්”

ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ හර්ෂණ නානායක්කාර

“ජාතික ජන බලවේගය වැනි ව්‍යාපාරයක් රටට අවශ්‍යම කාලයක් තමයි ඉදිරියට එළඹෙන්නේ. මේ මැතිවරනයේදී අපි ඡන්ද පදනම අතින් යම් පසුබෑමකට ලක්වුණත්, අපේක්ෂා කළ මට්ටම අපට නොලැබුණත් සෑහෙන සංවිධාන ප්‍රමාණයක් අප වටා ඒකරාශි වී තිබෙනවා. මේ සංවිධාන සමග ජාතික ජන බලවේගය ගොඩනැගුණේම ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, ජාතිවාදයට එරෙහි, දූෂණයට වංචාවට එරෙහි කඳවුරක් ලෙසයි. ඒ අරමුණ කරා යාමට මෙතැන සංවිධාන 34කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනවා. මෙතැනදී අප ලබපු විශාලම ජයග්‍රහණය තමයි, මෙතැනදී විවිධ වෘත්තික කණ්ඩායම්, සිවිල් සංවිධාන. දේශපාලන ක්‍රියාධරයන් එක වේදිකාවකට කැඳවීමට සමත්වීම. මේ ගොඩනැගුණු එකතුවම ජයග්‍රහණයක්.

මෙම මැතිවරණය බයවල් අතර තරගයක් බවට පත්වුණා. එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වය බලයට පැමිණියහොත් කුමක් සිදුවේද යන්න මත, ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවේද යන්න මත බියවැද්දීම් සිදු කළා. නාමයෝජනා දීමට පෙර සිටි ජනතාව මැතිවරණ ව්‍යාපාරය තුළ විශාල ලෙස වෙනස් වුණා. ඡන්දදායකයන්ට ප්‍රතිපත්ති අනුව තීරණ ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. රටට ගැලපෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගය පමණයි. නමුත් ඒ ප්‍රතිපත්ති අධ්‍යයනයක් කිසිවෙක් අතින් සිදුවුණේ නැහැ. එජාපයට හෝ ගෝඨාභයට ඡන්දය දුන් අය ප්‍රතිපත්ති කියවා, ඒ ගැන තෘප්තිමත්ව ඡන්දය දුන්නේයැයි අප සිතන්නේ නැහැ. මෙය හුදෙක්ම හැඟීම් අනුව මෙහෙයවුණු ඡන්දයක්. එවන් අවස්ථාවලදී අප ගත්තේ දුෂ්කර මාවතයි. එනම් ජනතාවට දැනුම ලබාදී, අප ගැන හඳුන්වා දී, රට යා යුතු මාවත පෙන්වා දී ඒ අනුව ජනතාව වෙනස් කිරීමේ කාර්තව්‍යයක්. මෙය හුදු ආණ්ඩවක් පිහිටුවීම හෝ ජනාධිපතිවරයෙක් පත් කිරීම නොමෙයි; පවතින ක්‍රම වෙනස් කිරීමේ භාරදූර කර්තව්‍යයක්. අප ඒ සඳහා ජාතිවාදය, ආගම්වාදය වැනි කිසිවක් භාවිත කරගත්තේ නැහැ. අපි සියලු ජනතාවගේ සංහිදියාව මත පිහිටා සිටියා.

නමුත් මේ ඡන්දයේදී ජාතිවාදය නරක ලෙස පාවිච්චි වූ බව ඉතා පැහැදිලිව පෙනී ගියා. මැතිවරනයෙන් පසුව මුහුණපොතේ පළ කරන ලද පෝස්ට්වල මීගමුවේදී තමන්ගේ ඡන්ද අපේක්ෂකයා පැරදුණු බැවින් නැවත බෝම්බ ගැසිය යුතු බව පවසන මට්ටමකට ඇතැමුන් වැටී තිබුණා. යාපනය ගැන ඔවුන් පවසන දේ දෙස බැලීමෙනුත් මේ බව පැහැදිලියි. පෙර නොවූ විරූ ලෙස ජාති, ආගම් අතර බෙදීයාමක් මේ තුළ ඇතිවීමට පුළුවන්. එවන් අවස්ථාවක සත්‍යය කතා කරමින්, ජාතික සමගිය පිළිබඳව කතා කරමින් සිටින දේශපාලනය ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඉදිරියටත් මේ රටේ අපට ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව, සමාජ සාධාරණය වෙනුවෙන් නැගී සිටීමට හා කැපවීමේ හැකියාව අපට තිබෙනවා. යම් පාලකයෙක් හෝ ආණ්ඩුවක් විසින් ජනතාවගේ අයිතිවාසිකම්වලට හානිවන ආකාරයේ යමක් කළහොත් ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිටිමින් ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට අපි සූදනම්.”

“ජනතා අයිතිවාසිකම් රැකගැනීමේ සටන වෙනුවෙන් අප කැපවනවා”

එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ ලාල් විජේනායක

“අපි ජාතික ජන බලවේගය පිහිටවූවේ ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නෙමෙයි. ඊට වඩා අපට මුහුණ දී ඇති සමාජ, ආර්ථික හා දේහපාලන අර්බුදය විසඳීම සඳහා වන දීර්ඝ ගමනක් වෙනුවෙනුයි. ඒ අර්බුදය විසඳීම සඳහා ඩතාමත් විද්‍යාත්මකව සකස් කරන ලද වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවා. අපි මේ මැතිවරණයට අවතීර්ණ වීමෙන් පසුව විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපට හැකියාව ලැබුණා. අනෙක් දේශපාලන පක්ෂ දෙකම එකයි; එකම දේශපාලනයයි. අප තෙවැනි බලවේගය නොව විකල්ප බලවේගයයි. මැතිවරණය තුළ අප වැඩපිළිවෙළ ජනතාව අතර සංවාදයට බඳුන් කළා. එය තවත් ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. විකල්ප බලවේගයක් ලෙස අප වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා. රට තුළ පවතින සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදය දෙස බලන විට මර්දනය කිරීම්, ජනතාව මත බර පැටවීම්, දේශපාලන අර්බුද සිදුවීමට ඉඩ තිබෙනවා. එවැනි තත්වයක් තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අප මත පැටවනවා. එය ඉටුකිරීම අපේ ඓතිහාසික යුතුකමක්. ඒ සටන ඉදිරියට ගෙනයාමට අපි කැපවී සිටිනවා.”

“යහපත් සමාජයක් දැකීම වෙනුවෙන් කලාකරුවන් ඉදිරියටත් නොසැලී වැඩ කරනවා”

ජන නියමු කලාකරුවෝ සංවිධානයේ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

“අප සියලු දෙනා, සියලුම මාධ්‍ය ආයතන දැන සිටියා, අප විසින් ඉදිරිපත් කරන ලද අදහස් කවදා හෝ මේ රටේ සාධාරණ, සමගියෙන් යුතු, සමාජයක් බිහි කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හොඳම යෝජනා බව. නමුත් මාධ්‍ය ආයතන මගින්, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය මගින් සාධාරණ සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා. මාධ්‍යවේදීන් හෘදය සාක්ෂියට අනුව වැඩ කළහොත් මේ රට බේරාගත හැකියි. අද මේ රට ජනාධිපතිවරනයේ ප්‍රතිඵල අනුව නරක බෙදීමකට ලක්ව තිබෙනවා. මුස්ලිම් සමාජය, සිංහල සමාජයෙන් එල්ල විය හැකි  ප්‍රහාරවලින් ආරක්ෂා වීම සැලකිල්ලට ගෙන ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. දෙමළ සමාජය මීට වසර 5-6කට පෙර තිබුණු හමුදා පාලනයට ආපසු යන්නට තිබෙන අකමැත්ත සහ එයින් ගැලවීමේ මාර්ගය ලෙස සලකමින් තමන්ගේ ඡන්දය පාවිච්චි කර තිබෙනවා. සිංහල සමාජය දෙමළ හා මුස්ලිම් අන්තවාදී සංවිධානවලින් ගැලවීම සඳහා, එවායින් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව ඇති භීතිය මුල් කරගෙන ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තත්වය තුළ සමාජයට ලැබෙන ප්‍රතිඵල ඉතාම නරකයි. සියලු දෙනාගේ භීතිය එලෙසම ඉතිරි වී තිබෙනවා. මේ භිතිය තුරන් කිරීම සඳහා තිබිය හැකි එකම මාර්ගය ජාතික සමගියයි. අද ජාතික සමගිය පිළිබඳව කථා කිරීමට පවා නොහැකි තත්වයකට සමාජය පත්වී තිබෙනවා. එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට වැඩි වෙනසක් මේ නව බලාධිකාරියෙන් අපට බලපොරොත්තු වෙන්න බැහැ. මැතිවරණ ව්‍යාපාරයේදී රටේ ප්‍රවීණ කලාකරුවන් විශාලම ප්‍රමාණය ඒකරාශි වුණේ අප සමගයි. කලාකරුවන් 140 ගණනක් කිසිදු වරප්‍රසාදයක්, ආර්ථික වාසියක් අපේක්ෂා නොකර අප සමග අත්වැල් බැඳගත්තා. ඒ සියලු දෙනා ඉදිරියේදීත් මේ රටේ යහපත් සමාජයක් දැකීම වෙනුවෙන් නොසැලී වැඩ කරන බව ජන නියමු කලාකරුවෝ සංවිධානයේ උපදේශ මණ්ඩලයේ කෙනෙකු ලෙස ප්‍රකාශ කිරීමට කැමතියි.”

“අනාගතයේ ජයගත හැකි බව අපට විශ්වාසයි”

විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක

“ඇත්ත වශයෙන් අපේ සහෝදරවරු බලාපොරොත්තු වුණා මීට වඩා ප්‍රතිඵලයක්. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය ජනතාව විසින් ලබාදුන්නේ නැහැ. වෙනසක් අපේක්ෂා කරපු සැලකිය යුතු බලවේගයක් රටේ හිටියා කියන එක රහසක් නොවේ. නමුත් ඒ වෙනස අපේක්ෂාවෙන් හිටපු ඒ ජනතාව ආකර්ෂණය කරන්න අපි කිසියම් දුරකට අසමත් වුණාය කියන එක තමා මේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ. ඇත්තටම මේ වෙනසක් අපේක්ෂා කරපු ජනතාව අපට පණිවුඩයක් දීල තියෙන්නේ. ඔබ අප වෙනුවෙන් සෑහෙන කැපවීමකින් වැඩ කළාට අපව ප්‍රමාණවත් ලෙස දිනාගැනීමට ඔබ අසමත් වෙලාය කියන පණිවිඩය තමා දී තියෙන්නේ.

ඒ නිසා අප ජාතික ජන බලවේගය විදියට අපේ වගකීමක් තිබෙනවා අපිට ඇයි මේ එකතු කරගන්න බැරිවුණේ කියන කාරණය. ගොඩක් හේතු තියෙනවා. ඒ කියන්නේ මේ අපේ සහෝදරවරු විස්තර කරපු අපි දැකපු අපිට බාධක විදියට තිබ්බ බොහෝ කාරණා තියෙනවා. ඒවා අපි කැමතිවුණත් නැතත් ඉදිරියටත් හැමදාමත් මේ ක්‍රමය පවතිනතාක් කල් තියෙනවා. ඉතින් අපේ පැත්තෙන් අපේ වගකීම වෙන්නේ මේවා මෙසේ තිබියෙදී අපි කොහොමද මේවා අභිබවා යන්නේ. අභිබවා යමින්  ජනතාවට අපේ පණිවිඩය දෙන්නේ ජනතාව අපි දිනාගන්නේ කොහොමද කියන එක. මෙතනදී මම හිතන්නේ අපි කල්පනා කරනවා, ජාතික ජන බලවේගය විදියට මේ කාර්ය සපුරා ගන්නේ කොහොමද කියන එක පිළිබඳ බරපතළ විදියට සැලකිල්ලට ගෙන ඒ කාරණා නිවැරැදි කරගන්න. අසමත් වූ කාරණා යළි ක්‍රියාකාරිත්වයට පත්කරලා සාර්ථක බලවේගයක් බවට පත්වෙන්න කටයුතු කිරීම අපට පැවරී තියෙනවා.

ඒ සඳහා ඉදිරියේදී අපි කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ පාලනය වෙනස් වුණා කියලා මේ රටේ තියෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි මේ ජනපතිවරණ ව්‍යාපාරය තුළ නිරන්තරයෙන් අවධාරණය කළා වගේ වාගේම අපේ අනිකුත් ක්‍රියාකාරීන් අවධාරණය කළා වගේම මේ කිසිදු පාලකයකුට මේ ප්‍රශ්නවලට විසඳුම් සපයන්න බැහැ. ඒ නිසා වැඩිකල් නොයා මේ පාලකයන්ගේ එල්ලවෙන නොයෙකුත් අභියෝගයන්ට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ නිසා මේ විදියේ ව්‍යාපාරයක් නැතිවම බැරි ව්‍යාපාරයක් විදියට පවතිනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ යම්කිසි පසුබෑමටකට ලක්වුණාට අනාගතයේදී ජනතාව අපව ආමණ්ත්‍රණය කරන තත්වයකට පත්වෙනවා. ඒ ආමන්ත්‍රණයට නිසි පිළිතුරු දීම අපේ වගකීම වෙනවා. ජයගන්න අපට පුළුවන් කියල අපි විශ්වාස කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

“ඔබතුමන්ලා වගේම අපිත් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ඔබතුමාලට තිබෙන කැමැත්ත කතිරයට හරවන්න බැරිවෙලා තිබෙනවා. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. මේ ගැන පසුවිපරමක් අවශ්‍ය නැද්ද?

මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන සමාලෝචනයක් කරගත යුතුව තිබෙනවා. එම කිසිදු සමාලෝචනයකදී අපි වෙනස් නොකරගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අපි කිසිසේත් ජාතිවාදයට වැටෙන්නේ නැහැ. අතිශය දුෂ්කර තත්වයක් හමුවේ වුවද ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම දේශපාලන න්‍යායපත්‍රයේ කොතනකවත් ආගම හෝ අන්තවාදය කොටසක් කර ගන්නේ නැහැ. මහජනයාගේ දේපොළ සොරාකන දූෂණයේ යොදන දේශපාලනයේ අපි නිරත වෙන්නේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් ශක්තිමත් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවමින් යම් රාජාභිෂේකයක් දක්වා ඔසවන දේශපාලනයක නිරත වන්නේ නැහැ. මේ ස්ථාවරයන් අපි වෙනස් කරගන්න සූදානම් නැහැ.

මේ මැතිවරණය ස්වභාවයෙන්ම කඳවුරු දෙකක් ඇතිවන තීව්‍ර සටනක් බව අපි දන්නවා. එනිසා ඡන්ද ධ්‍රැවීකරණය වීම වළක්වන්න බැහැ. ගොඩක් අය වාර්තා කළ සාමකාමී ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් කියලා. නමුත් අපි විශ්වාස කරන්නේ අපේ රටේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ස්මාර්ට් වෙලා තිබෙනවා. එක යුගයක තිබුණා ගෙවල්වලට ගිහින් ඡන්ද කාඞ්පත් පැහැරගෙන අනෙකා වෙනුවෙන් තව කෙනෙක් ඡන්දය පාවිච්චි කළා. අනෙක් ආකාරය ඡන්ද දායකයින් පලවා හැරලා ඡන්ද පෙට්ටි පිරවීම. ඒ වගේම පෙට්ටිය පිටින්ම මාරු කළ ප්‍රචණ්ඩ ක්‍රියා දැකලා තිබෙනවා. මේ සියලු දෙයින් සිදුවන්නේ ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු වෙන එක වළක්වාලීම. මෙවරත් එහෙම වුණා. ජනතාවගේ කැමැත්ත ඇත්ත ලෙස පිළිබිඹු වීමට  රාජ්‍ය හා පුද්ගලික නාලිකා කිහිපයක් ඉඩ දුන්නේ නැහැ. ඇත්ත ගත්තොත් රාජ්‍ය නාලිකාවල සමාජ බලපෑම හීන වෙලා තිබෙන තත්වයක් තුළ නාලිකා කිහිපයක් තම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාවගේ කැමැත්ත මත බලපෑමක් ඇති කොට තිබෙනවා. මාධ්‍ය අසත්‍ය කීම ප්‍රශ්නයක් නොවේ. මොකද එය නිවැරදි කරන්න පුළුවන්. භයානක දේ තමයි මාධ්‍ය ජනතාව මත වැරදි පරාවර්තනයන් ඇති කිරීම. පල්ලියක කඩු ඇති බව වාර්තා කිරීම ප්‍රශ්නයක් නොවේ. නමුත් මාධ්‍ය විසින් එය කඩු තබා ගත්තේ උඹලට ගහන්න කියලා ජනතාව මත වැරදි මතයක් ඇති කිරීම භයානකයි. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු පෙන්වන්න පුළුවන්. නමුත් යම් පුද්ගලයෙක් ජයග්‍රහණය කරන බව, ඔහු ජයග්‍රහණය නොකළහොත් රටට අහිතකරයි යනුවෙන් පරාවර්තනයක් ඇති කිරීම භයානකයි. ඒ වගේම අනෙක් පුද්ගලයෙක් ජයග්‍රහණය කරන්නේ නැහැ ජයග්‍රහණය කළහොත් රටට විනාශකාරිත්වයක් ඇති වෙයි කියලා පරාවර්තනය කිරීම භයානකයි. ඒ වගේම මේ අය ඡන්ද ව්‍යාපාරයට අදාළ නැහැ කියලා පරාවර්තනය කිරීම භයානකයි. මැතිවරණ කොමසාරිස්තුමත් ප්‍රකාශයට පත් කරලා තිබුණා මාධ්‍ය නාලිකාවලට මන්ත්‍රීවරුන් පත්කරලා එවන්න කියලා. එය ප්‍රකාශයට පත්කිරීම ගැන එකඟයි. නමුත් ඒ සඳහා මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ. අපි හිතනවා ජන මනස වෙනස් කිරීම සඳහා විශාල තලයකට මාධ්‍ය නාලිකා ගමන්කොට තිබෙනවා. අපි පසුවිපරමේදී සොයා බැලිය යුතු වෙනවා මෙවැනි මාධ්‍ය හැසිරීමකදී අපේ මතය ජනතාව අතරට ගෙන යන උපක්‍රම මොනවාද කියලා.”

ඔබතුමාලාගේ වැඩපිළිවෙළ ගැන ප්‍රශ්නයක් නැහැ. ඡන්දය ලබාගැනීම පිළිබඳව තමයි සමාලෝචනයක් කළ යුත්තේ.

“ඔව්. අපි ඉදිරියේදී සමාලෝචනයක් කර බලමු. අපේ ව්‍යාපාරයේ සාධනීය ඉදිරි පියවර වෙනුවෙන් කවුරු හරි යෝජනාවක් ඉදිරිපත් කරනවානම් අපි එය භාරගන්න සූදානම්. ඒ වගේම අපේ ක්‍රියාකාරකම් ඉදිරි ගමනට බාධා වෙලා තිබෙනවා යැයි කියා කවුරු හරි කෙනෙක් නිෂේධනීය දේ පෙන්වා දෙන්නේ නම් ඒකත් අපි භාරගන්න ලෑස්තියි. මොකද අපි හිතනවා කවුරු මැතිවරණ වේදිකාවේ බල්ටි ගැසුවත් අපේ රටේත් ජනතාවගේත් ඉදිරිය තීරණය වන්නේ ජාතික ජන බලවේගය මත කියලා. ඒ නිසා අපි බැහැර කළ යුතු දේ බැහැර කරන්න එකතු කර ගත යුතු දේ එකතු කරගන්න අපි සූදානම්.”

මාධ්‍ය නියාමනය පිළිබඳව ඔබතුමාලාගේ ස්ථාවරය මොකක්ද?

“පළමුකොටම අපි මේ මාධ්‍ය නාලිකා ජනතාවට එළිදරව් කළ යුතුයි. ඔවුන්ම එළිදරව් වෙමින් තිබෙනවා. පළමු මැතිවරණ ප්‍රතිඵලය එනකොටම යම් මාධ්‍ය නාලිකාවක හිමිකරුවෙක් උද්දාමයෙන් දඟලන ආකාරය අපි සමාජ මාධ්‍යවල දැක්කා. එම මාධ්‍ය නාලිකාව කොතරම් බලපෑමක් කළාද යන සතුට තමයි ඒ පෙන්වන්නේ. එනිසා මේ තත්වය සමාජයේ කතාබහට ලක්වෙන්න ඕනෑ. කවර හෝ මාධ්‍ය ආයතනයක් අධිකාරී බලයක් සහිතව ජනතාවගේ මතයට බලපෑමක් කරනවානම් මාධ්‍යයට අපිව විවේචනය කරන්න අයිතිය තිබෙනවා සේම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිටත් අයිතියක් තිබෙනවා ඔවුන් විවේචනයට භාජනය කරන්න. අනෙක් එක නීතිමය ප්‍රතිපාදන. එය අපි මතම තීරණය වන්නේ නැහැ. එය ටිකක් දුරින් තිබෙන දෙයක්.

ඒ වගේම අපි ජනතාවට කියන්න උත්සහ කරන අදහස තිබියදී එම මාධ්‍ය නාලිකාවට ජනතාවට ගෙනියන්න අවශ්‍ය අදහස අපේ කතාවෙන් කොටසක් යොදාගෙන ගෙනියනවා. කොහොම වුණත් ඔබ මාධ්‍යවේදීන් ලෙස ඔබ වැඩකරන ආයතනය තුළ ඔබටත් සංවාදයක් තිබෙනවා. ඔබ එකඟද ඔබගේ ආයතනය හැසිරුණු ආකාරය පිළිබඳව. ඔබටත් ඒ පිළිබඳව සේවකයකුගෙන් එහාට ගිය වගකීමක් තිබෙනවා. එනිසා නීති සම්පාදනයට වඩා ජනතාව අතර සංවාදයක් තමයි වැදගත් වෙන්නේ.”

ඔබතුමා නායකත්වයට පත්වීමෙන් පසුව ජවිපෙ ඡන්ද ප්‍රමාණය අඩු වුණා කියලා චෝදනාවක් තිබෙනවා. ඔබ එය පිළිගන්නවාද?

“අපේ දේශපාලන ව්‍යාපාරය 2015දී යම් ප්‍රමාණයක ඉදිරියට එනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර තුනේ සිට හය දක්වා වැඩිවෙනවා. 2018 පළාත්පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරුන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට වැඩි කර ගන්නවා. ප්‍රතිඵලවල වර්ධනයන් තිබෙනවා, පසුබෑම් තිබෙනවා. එය දේශපාලනයේදී තේරුම්ගත හැකි එකක්. එමනිසා වර්ධනයන් මගේ ජයග්‍රහණයක් ලෙස හෝ පසුබෑම් මගේ පරාජයක් ලෙස නෙවෙයි ගන්නේ. අපි දේශපාලන ව්‍යාපාරයක්. එම ව්‍යාපාරයේ අපිට පැවරුණ වගකීම් තිබෙනවා. එම වගකීම් තමයි අපි සමාලෝචනය කර ගන්නේ. අපේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ මා අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට අදාළ වගකීම මම ඉටු කළා යැයි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අපේ ව්‍යාපාරයටත් ඒ විශ්වාසය තිබෙනවා. ප්‍රතිඵලවලට විවිධ අර්ථකථනයන් දෙන්න උත්සහ කරනවා. ඒවාට අපි යටත් වෙන්නේ නැහැ.”

දින 52දේ ක්‍රියාවලියේදී ඔබලාගේ හැසිරීම ප්‍රතිඵලයට බලපෑමක් වෙලා නැද්ද?

“එම ප්‍රශ්නයෙන්ම පේනවා මාධ්‍ය අපිට එරෙහිව හදන්න උත්සහ කරන මතය කොයිතරම් ප්‍රබලද කියලා. එතන තිබුණේ අගමැති ධුරය කා අතේද තිබෙන්නේ කියන ප්‍රශ්නය නෙවෙයි. ජනාධිපතිවරයාට වැඩ කළ හැකි රාමුවක් ව්‍යවස්ථාවෙන් හදල දීලා තිබෙනවා. එයින් පිට පනින්න ඔහුට බැහැ. අපේ අභිප්‍රාය වුණේ ජනාධිපති ව්‍යවස්ථාව ඇතුලේ හිර කර ගැනීම. අපේ ස්ථාවරය අධිකරණයේ විනිසුරුවරුන් 07 දෙනෙකු ඒකමතිකව තීන්දු කර තිබෙනවා. අපි දේශපාලනය මනින්නේ කාටද වාසි වෙන්නේ අවාසි වෙන්නේ කියලා නෙවෙයි. සමහරු එහෙමයි. තමන්ට වාසි නම් ව්‍යවස්ථාව කඩන පැත්තේ. තමන් අවාසි නම් අනෙක් පැත්තේ. අපි හෙටත් කවුරු හරි ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරනවානම් ඊට එරෙහිව අපි පෙනී ඉන්නවා. එය ඉදිරියේදී ගෝටාභයට වාසිද අවාසිද කියලා අපි බලන්නේ නැහැ.

ප්‍රතිවාදීන්ගේ තර්ක බිඳ වැටෙනවා ජනාධිපතිවරණයෙන්. ජනාධිපතිවරණයේදී අපේ තීරණය කොයිතරම් ප්‍රබලද කියනවානම් එජාපයට සහය දෙන පිරිස් අපිට කිවුවා ජාතික ජන බලවේගයට ඡන්දය දීම ගෝටාභයට ඡන්දය දීම හා සමානයි කියලා. අපි දේශපාලනය කරන්නේ මේ භූමියේ. අපි ගන්න සියලු දේශපාලන තීන්දු තීරණ කවර හෝ දේශපාලන කඳවුරකට සෘජුව හෝ වක්‍රව බලපෑම් කරනවා. එහෙම නම් අපිට දේශපාලනය කරන්න වෙන්නේ වෙනත් ග්‍රහ ලෝකයක. අපි බලන්නේ දේශපාලන තීන්දුව හරිද වැරදිද කියලා. ඔක්තෝබර් 26 තීරණයත් ජනාධිපතිවරණයේදී අපි ගත් තීරණයත් හරි කියලා අපි විශ්වාස කරනවා.”

පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගෙනාවොත් ඔබතුමාලා මොකද කරන්නේ.

“මෙය පාර්ලිමේන්තුව තුළ බල හුවමාරුවක් නෙවෙයි. මේ ජනතාව විසින් ලබාදුන් කැමැත්ත. මේ බල හුවමාරුවට අපි එකඟ විය යුතුයි. පාර්ලිමේන්තුව ජන වරමකට යනවද නැද්ද කියලා අපි සාකච්ඡා කර බැලිය යුතුයි.”