ශක්තිමත් ආණ්ඩුවක් ස්ථිරයි / පොදුජන පෙරමුණේ කොලඹ සංවිධායක මධුෂාන් හරින්ද්‍ර

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම හා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජයක් පත්වීම සමග රට ධනාත්මක පරිවර්තනයක් කරා යොමුවීම ස්ථිර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලඹ දිස්ත්‍රික් සංවිධායක මධුෂාන් හරීන්ද්‍ර මහතා පවසනවා.
ලංකා ඒ නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ධූරයේ දිවුරුම්දී දින කිහිපයක් යාමටත් පෙර ජනතාවගේ ප්‍රසාදයට පත්වන ආකාරයේ තීරණ කිහිපයක්ම ගැනීමට නව ජනාධිපතිවරයා සමත්ව ඇති බවයි.
එසේම ඉන්දියන් සාගර කලාපයේ බලවත් රටවල් පවා ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය දැඩි කර ගැනීමට මේ වන විටත් ඉදිරිපත්ව තිබීම තුලින් රටට ප්‍රතිලාභ රැසක් අත්වන බවයි මධුෂාන් හරින්ද්‍ර මහතා සදහන් කළේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධුෂාන් හරින්ද්‍ර මහතා

මේ ජනාධිපතිවරණය රටේ අනාගතය තීරණය කළ වැදගත් අවස්ථාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට ගෙන එන්න මේ රටේ අති මහත් බහුතර ජනතාවක් එකට එක්වුණේ රටට ආදරේ නිසයි. ඒ වගේම මේ රට හදන්න මිනිස්සුන්ටත් උවමනාවක් තියෙන නිසයි.
උදාහරණයක් විදියට මම නියෝජනය කරන කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ම තියෙනවා අඩු ආදායම් ලාභී ජනතාව ජීවත්වෙන.මැද කොලඹ උතුරු කොලඹ වගේ මේ ප්‍රදේශවල ජනතාවගේ දුප්පත්කම තමයි සමහර දේශපාලන පක්ෂ අවුරුදු ගණනාවක් පුරා ජන්දය වෙනුවෙන් භාවිතා කළේ.
නමුත් මහින්ද රාජපක්ෂ / ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අපිට උපදෙස් දුන්නේ මේ ජනතාවගේ ජන්දය ගන්න මොකක් හරි කියන එකට නොවෙයි. මේ මිනිස්සු අද ඉන්න තත්ත්වයෙන් ගොඩට අරගෙන ලෝකයත් එක්ක එක ගමනක යන කොට්ඨාශයක් බවට පත් කරන්න.
ආණ්ඩු බලයක් නැතිව / ජනාධිපති බලයක් නැතිව අපි අවුරුදු ගණනාවක් නිහඩව ඒ දේ කොලඹ නගරය තුල මේ රට තුල ක්‍රියාත්මක කළා.
ඒ ප්‍රතිඵලයක් තමයි මෙවර ජනාධිපතිවරණයේදී අපි කොලඹ දිස්ත්‍රික්කයේ වැඩි ජන්ද ප්‍රමාණය වර්ධනය කර ගත්තේ.
උදාහරණයක් විදියට මෙතෙක් කොලඹ නගරයේ සමහර පක්ෂවල බලකොටුවල පවා අපේ ජන්ද පදනම පැහැදිලිව වැඩි වෙලා තිඛෙනවා.
ඒ කියන්නේ ජනතාවට අවශ්‍යයි රට ඉදිරියට ගෙනයන්න. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේ දරුවන්ට දියුණු රටක ජීවත්වෙන්න මගක් හදන්න.
ඒ නිසා ඔවුන් අපෙ අදහස් පිළිගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කළා.
දැන් අපි සූදානම් පොදුජන පෙරමුණ විදියට ජනතාවට දුන්න ඒ ප්‍රතිඥා නියමිත පරිදි ඉටු කරන්න.
පොතකට පැන්සලකට බත් පාර්සලයකට ජන්දය දෙන්න මිනිස්සු පොලඹවන තත්ත්වය නිමා කරලා ප්‍රතිපත්තියක් මත වැඩපිළිවෙලක් මත ශක්තිමක් නායකයන් දෙදනකු මත මේ ගමන අපි යනවා.
ඉදිරි මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබන දැවැන්ත ජයග්‍රහණයක් සමග අපි මේ රට ජයග්‍රහණය කරවන්නයි කැපවෙලා ඉන්නේ.
ඒ නිසා මේ ගමනේදී මෙතෙක් අපිට සහාය දුන්න කොලඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම දෙස් විදෙස් ලාංකිකයින්ට අපි ස්තූති කරනවා.
ඒ වගේම රට අපේක්ෂා කරන හොද පාලනයක් දියුණු ගමනක් මේ රටට ගේන්නේ පොදුජන පෙරමුණ කියන එකත් මම කොලඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කියන්න කැමතියි.