මහේන්ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට යැවූ බව අධිකරණයට දන්වයි

මහ බැංකු බැදුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය අගෝස්තු 9 වනදායි. විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ගොනු විදේශ අමාත්‍යාංශය හරහා සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව අදාළ ලේඛන සහ ඉල්ලීම් එම රටේ නීතියට අනුකූලද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ සදහා නිරන්තරයෙන් විද්‍යුත් පණිඩුව හරහා තොරතුරු හුවමාරු කරන බවද ඒ මහතා පැවසුවා. මේ අතර මෙම නඩුවේ හයවන විත්තිකරු වන ජෙෆ්රි ඇලේෂියස් නැමැත්තාට රුපියල් ලක්ෂ 25 ක අමතර ඇපකරුවන් දෙදෙනෙකු යටතේ මසක කාලයකට විදේශගතවීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දුන්නා. ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහායි. නඩුවේ දසවන විත්තිකරු අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාද මේ වන විට අධිකරණය මගහැර සිංගප්පූරුවේ වාසය කරන බැවින් ඔහුට ද අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා.