You are here
Home > පාපන්දු ලෝක කුසලානය 2018 – Live Blog
පාපන්දු ලෝක කුසලානය 2018 – නවතම තරග අනුව පිළිවෙලින් ප්‍රතිඵල ඇතුළු තොරතුරු දැක්වේ.
2018.07.15
64. අවසන් මහා තරගය – ප්‍රංශය – ක්‍රොඒෂියාව
2018 පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට සුපිරි ප්‍රංශ කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4 ට 2ක් ලෙස පරාජය කරමින්.
මෙහිදී ප්‍රංශය හිමිකරගත් එක් ගෝලයක් ක්‍රොඒෂියානු ක්‍රීඩකයකුගේ අත්වැරදීමකින් ඔහු සිය දැලටම පන්දුව යොමු කිරීමෙන් හිමිවීම විශේෂත්වයක්.
ඒ නුව වසර 20කට පසුවයි ප්‍රංශය ලෝක කුසලානයක් යළි හිමිකර ගත්තේ.
තරගයේ 18 වන මිනිත්තුවේදී ක්‍රොඒෂියානු ක්‍රීඩකයකුගේ අත්වැරදීමෙන් ප්‍රංශයට පලමු ගෝලය හිමිවූ අතර තරගයේ 28 වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව පලමු ගෝලය වාර්තා කළා.
යළි 38 වන 59 වන හා 65 වන මිනිත්තු වලදීයි ප්‍රංශය ගෝල වාර්තා කළේ.
ක්‍රොඒෂියාව 69 වන මිනිත්තුවේදී සිය දෙවන ගෝලය වාර්තා කළා.
ඒ අනුව පලමුවරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට එක්වූ ක්‍රොඒෂියාවට හිමිවූයේ අනුශ+රතාවයයි.
මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අවසන් වටයේ රටවල් 32ක් තරග වැදුණු අතර එහිදී පැවැත්වුණු තරග ගණන 64ක්.
මෙවර තරගාවලියේ 3 වන තැන ඛෙල්ජියම හිමිකරගත් අතර 4 වන තැන හිමිවූයේ එංගලන්තයටයි.

2018.07.14
63. 3 වන ස්ථානයේ තරගය – ඛෙල්ජියම – එංගලන්තය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය හිමි කර ගැනීමට ඛෙල්ජියම සමත්වුණා.
ඒ 3න්වන ස්ථානය වෙනුවෙන් අද එංගලන්තය සමග පැවැති තරගය ගෝල 2 ට 0ක් ලෙස ජය ගනිමින්.
තරගයේ 4 වන හා 82 වන මිනිත්තුවේදී ඛෙල්ජියම ගෝල වාර්තා කළා.හෙට දිනයේ පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රංශය හා ක්‍රොඒෂියාව තරග වැදීමට නියමිතයි.

2018.07.11
62. අවසන් පූර්ව තරගය 2 – ක්‍රොඒෂියාව – එංගලන්තය
පෙරළිකාර ජයක් සමගින් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
ඒ එංගලන්ත කණ්ඩායම ගෝල 2 ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 5 වන විනාඩියේදී එංගලන්තය පලමු ගෝලය වාර්තා කළ අතර ක්‍රොඒෂියාව 68 වන මිනිත්තුවේදීයි පලමු ගෝලය ලබාගත්තේ. විනාඩි 90 තුල තරගය සමවූ හෙයින් ලබාදුන් අතිරේක කාලයේදී ක්‍රොඒෂියාව ගෝලයක් වාර්තා කළේ 109 වන මිනිත්තුවේදීයි.
ඒ අනුව ක්‍රොඒෂියාව ප්‍රංශය සමග ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට තරග වැදීමට නියමිතයි.
එංගලන්තය ඛෙලජියම සමග 3 වන ස්ථානයේ තරගයට එක්වනු ඇති.

2018.07.10
61. අවසන් පූර්ව තරගය 1 – ප්‍රංශය – ඛෙල්ජියම
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්වුණා.
ඒ තරගාවලියේ පලමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල බෙල්ජියම ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 51 වන මිනිත්තුවේදීයි ප්‍රංශය තරගයේ එකම ගෝලය වාර්තා කළේ.
ඒ අනුව රතු යක්ෂයන් ලෙස නම් කළ බෙල්ජියමට මෙවර තරගාවලියේ 3 වන ස්ථානය සදහා තරග කිරීමට අවස්ථාවක් හිමිවනවා.
ඒ හෙට පැවැත්වෙන ක්‍රොඒසියාව හා එංගලන්තය අතර තරගයෙන් පරාජය වන කණ්ඩායම සමගයි.
හෙට තරගයේ ජයග්‍රාහකයා ලබන 15 වනදා ප්‍රංශය සමග අවසන් මහා සටනට එක්වනු ඇති.
Soccer Football – World Cup – Semi Final – France v Belgium – Saint Petersburg Stadium, Saint Petersburg, Russia – July 10, 2018 France’s Samuel Umtiti celebrates scoring their first goal REUTERS/Lee Smith

 

2018.07.08
කණ්ඩායම් 32කින් යුක්තව ආරම්භ වූ 2018 පාපන්දු ලෝක කුසලානයේ තරග 60 ක් මේ වන විට පත්වා අවසන්ව තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ ඉතිරිව ඇත්තේ තවත් තරග 4ක් පමණයි.
ඒ අවසන් පූර්ව තරග 2 / අවසන් මහා තරගය හා 3 වන ස්ථානය සදහා වන තරගයි.
ඒ අනුව එංගලන්තය / ප්‍රංශය / ක්‍රොඒෂියාව හා බෙල්ජියම මෙම සුපිරි කණ්ඩායම් 4 ට එක්ව සිටිනවා.
ඉන් එක් රටක් මෙවර ලෝක කුසලානයේ ජය පැන් බීමට නියමිතයි.
මෙම කණ්ඩායම් 4න් කිසිදු කණ්ඩායමක් 2014 ලෝක කුසලානයේදී අවසන් පූර්ව වටයට පිවිස සිටියේ නැහැ.

2018.07.07
60. සුපිරි 8 වටය -ක්‍රෝඒෂියාව – රුසියාව  
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රෝඒෂියාව සමත්වුණා.
ඒ රුසියාව පරාජයට පත් කරමින්.
තරගයේ නියමිත කාලයේදී ගෝල 1 ට 1ක් ලෙස සමවූ බැවින් අතිරේක කාලයක් හිමිවූ අතර එහිදීත් දෙපිලම එක් ගෝලයක් බැගින් වාර්තා කළා.
තරගටේ 31 වන හා 115 වන මිනිත්තුවේදීයි රුසියාව ගෝල වාර්තා කළේ.
ක්‍රොඒෂියාව 39 වන හා 100වන මිනිත්තුවේදී ගෝල ලබාගත්තා.
ඒ අනුවයි දඩුවම් පහර මගින් තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ.
එහිදී ගෝල 4 ට 3ක් ලෙස ක්‍රොඒෂියාව තරගය ජයගත්තා.

59. සුපිරි 8 වටය – ස්වීඩනය – එංගලන්තය 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය අද සමත්වුණා.
ඒ ස්වීඩනය ගෝල 2 ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 30 වන හා 58 වන මිනිත්තුවලදීයි එංගලන්තය ගෝල වාර්තා කළේ.
මේ අනුව මෙවර ලෝක කුසලානයට වඩාත් ආසන්නවී සිටින කණ්ඩායම ලෙසයි එංගලන්තය මේ වන විට නම් කරනු ලබන්නේ.
MOSCOW, RUSSIA – JULY 3: Goalkeeper of England Jordan Pickford is celebrated by teammates Kieran Trippier, Harry Kane, Eric Dier, Danny Rose of England after winning the penalty shootout of the 2018 FIFA World Cup Russia Round of 16 match between Colombia and England at Spartak Stadium on July 3, 2018 in Moscow, Russia. (Photo by Jean Catuffe/Getty Images)
2018.07.06
58. සුපිරි 8 වටය – බ්‍රසීලය – බෙල්ජියම
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 වටයේ දෙවන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට එක්වීමට බෙල්ජියම සමත්වුණා.
ඒ ලෝක කුසලානයේ උරුමකරුවා ලෙස සැලකුණු සුපිරි බ්‍රසීලය පිල ගෝල 2 ට 1ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 13 වන මිනිත්තුවේදී බෙල්ජියමට පළමු ගෝලය හිමිවූයේ බ්‍රසීළ ක්‍රීඩකයකු අතින් අත්වැරදීමකින් ඔවුන්ගේම දැල තුලට ගෝලයක් යොමුවීම හේතුවෙන්.
පසුව 31 වන මිනිත්තුවේදී බෙල්ජියම තවත් ගෝලයක් වාර්තා කළා.
බ්‍රසීලය ලබාගත් එකම ගෝලය වාර්තාවුණේ 76 වන මිනිත්තුවේදීයි.

57. සුපිරි 8 වටය – ප්‍රංශය – උරුගුවේ
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ජය වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට එක්වීමට ප්‍රංශය සමත්වුණා.
ඒ ප්‍රබල උරුගුවේ පිල ගෝල 2 ට 0 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 40 වන හා 61 වන මිනිත්තුවලදීයි ප්‍රංශය ගෝල වාර්තා කළේ.

2018.07.04
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටය ඊයේ අවසන් වුණා.
ඒ අනුව කණ්ඩායම් 8ක් මේ වන විට සුපිරි 8 වටයට පිවිස සිටිනවා.
පිලිමලුන් පිටු දැකීමේ ක්‍රමය යටතේ එම කණ්ඩායම් අතර තරග 4ක් පැවැත්වෙන අතර ඉන් කණ්ඩායම් 4ක් සුපිරි 4 වටයට තෝරා ගැනීමට නියමිතයි.
ඉන් කණ්ඩායම් 2ක් අවසන් මහා තරගයට පිවිසෙන අතර තුන්වන ස්ථානය වෙනුවෙන් අනෙක් කණ්ඩායම් දෙක තරග කිරීමට නියමිතයි.
මේ සුපිරි 8 වටයට පිවිස සිටින කණ්ඩායම් ලයිස්තුවයි.
උරුගුවේ
ප්‍රංශය
බ්‍රසීලය
බෙල්ජියම
ස්වීඩනය
එංගලන්තය
රුසියාව
ක්‍රොඒෂියාව

2018.07.03
56. කොලොම්බියාව -එංගලන්තය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සමත්වුණා.
ඒ කොලොම්බියාව සමග තරගය ගෝල 1 ට 1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන්වීමෙන් පසු දඩුවම් පහර 4 ට 3ක් ලෙස තරගය ජය ගනිමින්. මෙය වසර 12 කට පසු එංගලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් 8 කණ්ඩායමට ඇතුලත්වූ මුල්ම අවස්ථාවයි.
තරගයේ 57 වන මිනිත්තුවේදී එංගලන්තය පලමු ගෝලය වාර්තා කළ අතර කොලොම්බියාව එය සමකළේ 90 වන මිනිත්තුවේදීයි..

55. ස්වීඩනය – ස්විස්ටර්ලන්තය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ 7 වන තරගයෙන් ජය වාර්තා කරමින් සුපිරි 8 වටයට පිවිසීමට ස්වීඩනය සමත්වුණා.
ඒ ස්විස්ටර්ලන්තය ගෝල 1 ට 0ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ 66 වන මිනිත්තුවේදී තරගයේ එකම ගෝලය වාර්තා කෙරුණා.
මෙහිදී ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයකුට රතු කාඩ්පතක් හිමිවීමද විශේෂත්වයක්.

2018.07.02
54. ජපානය – බෙල්ජියම 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ දී ආසියාවේ එකම බලාපොරොත්තුවය වූ ජපානය ඊයේ පරාජයට පත්වුණා.
ඒ තරගයේ අවසන් මිනිත්තුවේදී බෙල්ජියම විසින් වාර්තා කළ ගෝලයත් සමග ගෝල 3 ට 2ක් ලෙසයි.
තරගයේ මුල් ගෝල 2ම ජපානය විසින් වාර්තා කළ අතර ඒ 48 වන හා 52 වන මිනිත්තුවලයි.
එහෙත් තරගය අවසානයේ ක්‍රියාත්මකවූ බෙල්ජියම 69 , 74 හා 90 වන මිනිත්තුවේදී ගෝල වාර්තා කළා.
මෙය බෙල්ජියම සුපිරි 8 වටයට පිවිසි මුල්ම අවස්ථාවද වනවා.

53. බ්‍රසීලය  – මෙක්සිකෝව 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 වටයට පිවිසීමට බ්‍රසීලය සමත්වුණා.
ඒ ගෝල 2 ට 0ක් ලෙස මෙක්සිකෝව පරාජයට පත් කරමින්.
තරගයේ 51 වන මිනිත්තුවේදී නේමාර් විසින් පළමු ගෝලය වාර්තා කළ අතර තරගයේ දෙවන ගෝලය වාර්තා වුණේ 88 වන මිනිත්තුවේදීයි.
ඒ අනුව මෙක්සිකෝව මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවුණා.

2018.07.01
52. ක්‍රොඒෂියාව  – ඩෙන්මාර්කය 
ලෝක කුසාලන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ තරගයෙන් ඩෙන්මාර්කය පරදවා ජය ලැබීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
ඒ ගෝල 1 ට 1ක් ලෙස තරගය සමවීමෙන් පසු දඩුවම් පහර මගින් 3 ට 2ක් ලෙස ජය ගනිමින්.
ඒ අනුව ඩෙන්මාර්කයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
මෙම තරගයේ ආරම්භක මිනිත්තු 4 දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීම විශේෂත්වයක්.
ක්‍රොඒෂියාව ලෝක කුසාලන තරගාවලියක සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවේ වසර 20කට පසුවයි.

51. ස්පාඤ්ඤය – රුසියාව
සුපිරි ස්පාඤ්ඤ කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසි කරමින් අවසන් 8 වටයට සුදුසුකම් ලැබීමට රුසියාව අද සමත්වුණා.
ඒ ගෝල 1 ට 1ක් ලෙස තරගය සමවීමෙන් පසු දඩුවම් පහර 4 ට 3ක් ලෙස තරගය ජය ලබමින්.
ඒ අනුව සත්කාරක රාජ්‍යය ලෙසයි රුසියාව සුපිරි 8 වටයට පිවිස සිටින්නේ.
තරගයේ වාර්තාවූ පලමු ගෝලය ස්පාඤ්ඤයට හිමිවුවද ඒ රුසියානු ක්‍රීඩකයකු අතින් සිදුවූ අත්වැරදීමකින් එය ස්පාඤ්ඤ දැල වෙත යොමුවීමෙන් වීම විශේෂත්වයක්.
පසුව රුසියාව විසින් එක් ගෝලයක් වාර්තා කරනු ලැබුවා.
මෙට සෝවියට් සමූහාණ්ඩුව බිද වැටීමෙන් පසු රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සුපිරි 8 වටයට පිවිසි මුල්ම අවස්ථාවයි.

2018.06.30
50.උරුගුවේ – පෘතුගාලය 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ දෙවන තරගයෙන් ජය ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා.
ඒ ගෝල 2 ට 1 ක් ලෙස පෘතුගාලය පරාජයට පත් කරමින්.
මෙහිදී තරගයේ 7 වන හා 62 වන මිනිත්තුවලදී උරුගුවේ පිලේ එඩින්සන් කැවේනි විසින් ගෝල වාර්තා කළා.
පෘතුගාලය තරගයේ 55 වන මිනිත්තුවේදීයි සිය එකම ගෝලය වාර්තා කළේ.
ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමට ලෝක කුසාලන තරගාවලියෙන් ඉවත්වීඹටයි සිදුවුණේ.
මේ වන විට උරුගුවේ පිල සුපිරි 8 වටයට සුදුසුකම් ලබා සිටින්නේ අපරාජිතවයි. ඒ ඔවුන් මෙතෙක් සහභාගීවූ තරග 4ම ජය ගනිමින්.
උරුගුවේ පිල එවන් දස්කමක් දක්වා ඇත්තේ වසර 88 පසුවීම විශේෂත්වයක්.

49. ආර්ජන්ටිනාව – ප්‍රංශය 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ පලමු තරගයෙන්ම ප්‍රබල ආර්ජන්ටිනාව පරාජයට පත්වුණා.
ඒ ගෝල 3 ට 4ක් ලෙස ප්‍රංශය හමුවේදීයි.
ඒ අනුව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව අසමත්වූ අතර තරගාවලියෙන් ඉවත්ව යාමටයි එරටට සිදුවුණේ.
තරගයේ 13 වන මිනිත්තුවේදී ප්‍රංශය පලමු ගෝලය වාර්තා කරනු ලැබුවා.
ආර්ජන්ටිනාව සිය මුල් ගෝලය වාර්තා කළේ 41 වන මිනිත්තුවේදීයි.
යළිත් 48 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාව ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව ඔවුන් තරගයේ ඉදිරියට පැමිණීමටද සමත්වුණා.
මේ අතර ප්‍රංශය 57 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් දෙපිලම 2ට 2 ක් ලෙස සම තත්ත්වයේ පසුවුණා.
එහෙත් තරගය වෙනස් කරමින් 64 වන හා 68 වන මිනිත්තුවලදී ප්‍රංශය තවත් ගෝල 2ක් වාර්තා කළේ 4 ට 2ක් ලෙස ඉදිරියට එමින්.
තරගයේ 90 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාව තවත් ගෝලයක් වාර්තා කළද එය ප්‍රංශය පසුකර යාමට ප්‍රමාණවත්වූයේ නැහැ.
ඒ අනුව ලයනල් මෙස්සි ප්‍රමුඛ ආර්ජන්ටිනාව තරගාවලියෙන් ඉවත්ව යනවා.

2018.06.29

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික අධියරේ තරග 48 ඊයේ දිනයෙන් අවසන් වුණා.
ඒ දෙවන අධියරට කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබමින්.
මේ අනුව 16 දෙනාගේ වටය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව 16 දෙනාගේ වටයට පිවිසි කන්ඩායම් වන්නේ

උරුගුවේ
රුසියාව
ස්පාඤ්ඤය
පෘතුගාලය
ප්‍රංශය
ඩෙන්මාර්කට
ක්‍රොඒෂියාව
ආර්ජන්ටිනාව
බ්‍රසීලය
ස්විස්ටර්ලන්තය
ස්වීඩනය
මෙක්සිකෝව
බෙල්ජියම
එංගලන්තය
කොලොම්බියාව
ජපානය

2018.06.28
48. පැනමාව – ටියුනීසියාව

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 48 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ටියුනීසියාව සමත්වුණා.
ඒ පැනමාව ගෝල 2 ට 1ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 33 වන මිනිත්තුවේදී පැනමාවට පළමු ගෝලය හිමිවූයේ ටියුනීසියානු ක්‍රීඩකයකු අතින් අත්වැරදීමකින් ගෝලය තුලට පන්දුව යොමුවීම සමගයි.
කෙසේ වෙතත් 51 වන හා 66 වන මිනිත්තුවලදී ටියුනීසියාව ගෝල 2ක් වාර්තා කළා.
මෙය වසර 40කට පසු ටියුනීසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී තරගයක් ජයගත් මුල්ම අවස්ථාවයි.

47.  එංගලන්තය – බෙල්ජියම

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 47 වන තරගයෙන් ජය වාර්තා කිරීමට බෙල්ජියම සමත්වුණා.
ඒ 51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින්.
මෙහිදී ප්‍රබල එංගලන්තයට කිසිදු ගෝලයක් වාර්තා කළ නොහැකිවීම විශේෂත්වයක්.
මේ දක්වා ලෝක කුසලාන තරග 15 කදී එංගලන්තය සිය කාණ්ඩයේ පළමුවැන්නාව සිටි අතර මෙවර එංගලන්තය දෙවන තැන පත්ව සිටින්නේ වසර 60කට පසුවයි.

46. ජපානය – පෝලන්තය 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 46 වන තරගයෙන් ජය වාර්තා කිරීමට පෝලන්තය සමත්වුණා.
ඒ ජපානය ගෝල 1 ට 0ක් ලෙස පරාජය කරමින්.
මෙහිදී පෝලන්ත පිලේ එකම ගෝල 56 වන මිනිත්තුවේදී වාර්තාවුණා.
මෙය පෝලන්තය විසින් 2002 වසරෙන් පසු ජපානය පරාජය කළ පලමු අවස්ථාවයි.
කෙසේ වෙතත් මෙම තරගය පරාජය වුවද ජපානය 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රසාද ලකුණු අගය මතයි.

45. කොලොම්බියාව – සෙනගාලය 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 45 වන තරගයෙන් ජය වාර්තා කිරීමට කොලොම්බියාව සමත්වුණා.
ඒ සෙනගාලය ගෝල 1 ට 0ක් ලෙස පරාජය කරමින්.
මෙහිදී කොලොම්බියානු පිලේ එකම ගෝල 74 වන මිනිත්තුවේදී වාර්තාවුණා.
මේ සමග කොලොම්බියාව ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.
කොලොම්බියාව ලෝක කුසලාන තරගාවලියක 16 දෙනාගේ වටයට පිවිසි 3 වන අවස්ථාවද මෙයයි.

2018.06.27
44. බ්‍රසීලය  – සයිබීරියාව 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 44 වන තරගයෙන් බ්‍රසීලය ජය හිමිකරගත්තා.
ඒ සයිබීරියාව ගෝල 2 ට 0ක් ලෙස පරාජය කරමින්.
තරයේ 36 වන හා 68 වන මිනිත්තුවලදී බ්‍රසීලය සිය ගෝල වාර්තා කළා.
මෙය 1970 වසරෙන් පසු බ්‍රසීලය අඛණ්ඩව ලෝක කුසාලනයේ දෙවන වටයට පිවිසි 13 වන අවස්ථාවයි.

43. ස්විස්ටර්ලන්තය – කොස්ටාරිකාව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 43 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ ස්විස්ටර්ලන්තය හා කොස්ටාරිකාව අතර තරගය 2 ට 2 ක් ලෙස සමවීම හේතුවෙන්.
තරගයේ 31 වන හා 88 වන මිනිත්තුවලදීයි ස්විස්ටර්ලන්තය ගෝල වාර්තා කළේ.
කොස්ටාරිකාව 56 වන හා 90 වන මිනිත්තුවේදී සිය ගෝල වාර්තා කල අතර දෙවන ගෝලය ස්විස්ටර්ලන්ත ගෝල රකින්නා අතින්ම අත්වැරදීමකින් දැල තුලට යොමුවීම විශේෂත්වයක් වුණා

42. ජර්මනිය – දකුණු කොරියාව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 42 වන තරගයෙන් දකුණු කොරියාව ජයගත්තා.
ඒ ජර්මනිය ගෝල 2 ට 0 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 90 වන මිනිත්තුවෙන් පසු දකුණු කොරියාව මෙම ගෝල 2ම වාර්තා කිරීම විශේෂත්වයක්.
ඒ අනුව 1938 වසරෙන් පසු ඉතිහාසයේ පළමු වරටයි ජර්මනිය තරගාවලියේ පලමු වටයෙන්ම ඉවත්වීම මෙවර සිදුවුණේ.
එසේම 2014 ලෝක ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක්වූ ජර්මනියට අත්වූ ඉරණම විශේෂ අවධානයකටද ලක්ව තිබෙනවා.

41. මෙක්සිකෝව – ස්වීඩනය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 41 වන තරගයෙන් ස්වීඩනය ජයගත්තා.
ඒ මෙක්සිකෝව ගෝල 3 ට 0 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 50 වන 62 හා 74 වන මිනිත්තු වලදීයි ස්වීඩනය ගෝල වාර්තා කළේ.
එසේම 1994 වසරෙන් පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ස්වීඩනය තරගයක් ජයගත් ඉහළම ගෝල සංඛ්‍යාව සහිත තරගයද මෙයයි.
කෙසේ වෙතත් මෙම දෙරටම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා.

2018.06.26
40. ක්‍රොඒෂියාව – අයිස්ලන්තය 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 40 වන තරගයෙන් ක්‍රොඒෂියාව ජයගත්තා.
ඒ ගෝල 2 ට 1ක් ලෙස අයිස්ලන්තය පරාජය කරමින්.
තරගයේ 53 වන හා 90 වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාවෙන් ගෝල වාර්තාවූ අතර අයිස්ලන්තය සිය ගෝලය වාර්තා කළේ 76 වන මිනිත්තුවේදීයි.
මෙවර තරගාවලියේ මෙතෙක් සහභාගීවූ තරග 3ම ක්‍රොඒෂියාව විසින් පජයගෙන සිටින අතර ඒ එවන් දස්කමක් එරට දැක්වූ මුල්ම අවස්ථාවයි.

39. නයිජීරියාව – ආර්ජන්ටිනාව 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 39 වන තගයෙන් ජය වාර්තා කිරීමට ආර්ජන්ටිනාව සමත්වුණා.
ඒ නයිජීරියාව ගෝල 2 ට 1ක් ලෙස පරාජය කරමින්.
සුපිරි ක්‍රිඩක ලයනල් මෙසී තරගයේ 14 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ පළමු ගෝලය වාර්තා කළ අතර දෙවන ගෝලය වාර්තා වුණේ 86 වන මිනිත්තුවේදීයි.
නයිජීරියාවේ එකම ගෝලය 51 වන මිනිත්තුවේදී වාර්තාවුණා.
මේ සමග තීරණාත්මක කඩඉමක් පසු කරමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමටයි ආර්ජන්ටිනාව සමත්වුණේ.

38. ප්‍රංශය හා ඩෙන්මාර්කය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 38 වන තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.
තරගය පැවැත්වුණේ ප්‍රබල ප්‍රංශය හා ඩෙන්මාර්කය අතරයි. එහිදී දෙපිලෙන්ම කිසිදු ගෝලයක් වාර්තාවූයේ නැහැ.
මෙය මෙවර ලෝක කුසලානයේදී කිසිදු ගෝලයක් වාර්තා නොවූ පළමු තරගයයි.

37. පේරු  – ඔස්ටේ්‍රලියාව 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 37 වන තරගයෙන් ජය වාර්තා කිරීමට පේරු කණ්ඩායම සමත්වුණා. ඒ ඔස්ටේ්‍රලියාව ගෝල 2 ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 18 වන හා 50 වන මිනිත්තුවලදී පේරු කණ්ඩායම ගෝල වාර්තා කළා.
පේරු කණ්ඩායම මෙසේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක තරග ජයක් වාර්තා කළේ වසර 40කට පසුවීම විශේෂත්වයක්.
ඔස්ටේ්‍රලියාව මේ දක්වා ලෝක කුසලාන තරගාවලි 5කට එක්වී ඇති අතර එහිදී කිසිදු තරගයක් ජය නොගත් 3 වන තරගාවලිය මෙයයි.

2018.06.25
36. ස්පාඤ්ඤය – මොරොක්කෝව 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 36 වන තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ස්පාඤ්ඤය හා මොරොක්කෝව අතර තරගය නිමාවූයේ ගෝල  2 ට 2 ක් ලෙසයි.
තරගයේ 14 වන මිනිත්තුවේදී මොරොක්කෝව සිය පලමු ගෝලය වාර්තා කළ අතර දෙවන ගෝලය වාර්තා කළේ 81 වන මිනිත්තුවේදීයි.
තරගයේ 19 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤය සිය පලමු ගෝලය වාර්තා කළ අතර දෙවන ගෝලය වාර්තා කළේ  90 වන මිනිත්තුවේදීයි.මෙය 2016 වසරේ සිට ස්පාඤ්ඤය අඛණ්ඩව පරාජය නොවී අවසන් කළ 23 වන තරගයයි.

35. ඉරානය – පෘතුගාලය – 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 35 වන තරගය ජය පරාජයෙන් තොරය අවසන් වුණා.
ප්‍රබල පෘතුගාලය හා ඉරානය අතර තරගය නිමාවූයේ ගෝල 1 ට 1ක් ලෙසයි.
තරගයේ 45 වන මිනිත්තුවේදී පෘතුගාලය සිය ගෝලය වාර්තා කළා.
ඉරානය සිය ගෝලය වාර්තා කළේ අවසන් මිනිත්තු කිහිපය තුලයි.
මෙහිදී පෘතුගාල කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට යෙලෝ කාඩ් පතක් ලබාදීම විශේෂත්වයක්.
ඒ විනිසුරු තීරණය සමග එරෙහිවීම හේතුවෙන්.
කෙසේ වෙතත් මෙම තරගය සමග 16 දෙනාගේ වටයට සිය කාණ්ඩයේ පලමුවැන්නා ලෙස පෘතුගාලය එක්වූ අතර ඉරානය තරගාවලියෙන් ඉවතට විසිවුණා.

34. රුසියාව – උරුගුවේ
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 34 වන තරගයෙන් සත්කාරක රුසියාව පරදා විශිෂ්ට ජයක් ලැබීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා.
ඒ ගෝල 3 ට 0ක් ලෙසයි.
තරගයේ 10 වන , 23 වන හා 90 වන මිනිත්තුවලදීයි උරුගුවේ කණ්ඩායම සිය ගෝල වාර්තා කළේ.
ඒ අතරින් දෙවන ගෝලය රුසියානු ක්‍රීඩකයකු විසින් අත්වැරදීමකින් පන්දුව සිය ගෝලයටම යොමු කිරීම හේතුවෙන් උරුගුවේ කණ්ඩායමට හිමිවුණා.
මෙය 1982 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියක සත්කාරක රාජ්‍යය තම කාණ්ඩයේ මුල් තැනට පත්වීමට අසමත්වූ පළමු අවස්ථාවයි.

33. සවුදි අරාබිය – ඊජීප්තුව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 33 වන තරගයෙන් ජය වාර්තා කිරීමට සවුදි අරාබිය සමත්වුණා.
ඒ ඊජීප්තුව ගෝල 2 ට 1ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 22 වන මිනිත්තුවේදී ඊජීප්තුව සිය පළමු ගෝලය වාර්තා කළා.
තරගයේ 45 වන මිනිත්තුවේදී සවුදි අරාබිය සිය පළමු ගෝලයට වාර්තා කළ අතර එරට සිය ගෝලය වාර්තා කළේ තරගයේ අවසන් මිනිත්තුවේදීයි.
මෙය 1994 වසරෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී සවුදි අරාබිය තරගයක් ජයගත් මුල්ම අවස්ථාවයි.

2018.06.24
32. පෝලන්තය – කොලොම්බියාව 
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 වන තරගයෙන් ජය හිමිකර ගැනීමට කොලොම්බියාව සමත් වුණා.
ඒ පෝලන්තය ගෝල 3 ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 40 , 70 හා 75 මිනිත්තුවලදී කොලොම්බියාව සිය ගෝල වාර්තා කළා.
මෙම පරාජය සමග පෝලන්තය ලෝක කුසාලන තරගාවලියෙන් ඉවතට විසිවූ අතර මෙවර තරගාවලියේ මුල් අධියරෙන්ම ඉවත්වූ පළමු යුරෝපා රටද පෝලන්තයයි.

31. ජපානය – සෙනගාලය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 30 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මෙහිදී තරගයට එක්වූ ආසියාවේ අපේක්ෂාව වන ජපානය හා සෙනගාලය ගෝල 2 බැගින් වාර්තා කළා.
තරගයේ 11 වන හා 71 වන මිනිත්තුවලදී සෙනගාලය ගෝල ලබාගත් අතර ජපානය ගෝල වාර්තා කළේ 34 වන හා 78 වන මිනිත්තු වලදීයි.

30. එංගලන්තය – පැනමාව
පාපන්දු ලෝක කුසලාන තරගාවලියට නවකයන් වන පැනමාව ගෝල 6 ට එකක් ලෙස පරාජය කරමින් සිය හොදම පාපන්දු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය අද සමත් වුණා.
ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 30 වන තරගයේදීයි.
මෙහිදී තරගයේ 22 , 45 හා 62 වන මිනිත්තුවලදී ගෝල 3ක් වාර්තා කිරීමට හැරී කේන් සමත්වුණා.
ජෝන් ස්ටෝන් 8 වන හා 40 වන මිනිත්තුවලදී ගෝල 2ක් ලබාගත් අතර ජෙසී ලින්ගාඩ්ද එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබාගත්තා.
පැනමාව වෙනුවෙන් පිලිප් බාලොයි 78 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර එය පැනමාව ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් පලමු ගෝලයයි.
මෙය එංගලන්තය මෙතෙක් පාපන්දු තරගයකදී ලබාගත් දැවැන්තම ජයග්‍රහණයද වීම විශේෂත්වයක්.

2018.06.23
29. ජර්මනිය – ස්වීඩනය – 
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 29 වන තරගයෙන් ජය ලැබීමට ප්‍රබල ජර්මනිය සමත්වුණා.
ඒ තරගයේ අවසන් මිනිත්තුව තුල සිය දෙවන ගෝලය වාර්තා කරමින්.
මෙහිදී ස්වීඩනය රැස් කළේ එක් ගෝලයක් පමණයි.
තරගයේ 48 වන මිනිත්තුවේදී ජර්මනිය සිය පලමු ගෝලය වාර්තා කළා.
ස්වීඩනය සිය මුල් ගොලය වාර්තා කළේ 32 වන මිනිත්තුවේදීයි.

28. දකුණු කොරියාව – මෙක්සිකෝව
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 28 වන තරගයෙන් ලැබීමට මෙක්සිකෝව සමත්වුණා.
ඒ දකුණු කොරියාව ගෝල 2 ට 1ක් ලෙස පරාජය කරමින්.
මෙක්සිකෝව ලබාගත් ගෝල 2ක වාර්තාවූයේ 26 වන හා 66 වන මිනිත්තුවේදීයි.
දකුණු කොරියාවේ එකම ගෝලය තරගයේ අවසන් මිනිත්තුවේදී වාර්තාවුණා.
මෙය 2002 වසරෙන් පසු මෙක්සිකෝව අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලියක තරග 2ක් ජයගත් මුල්ම අවස්ථාවද වනවා.

27. බෙල්ජියම – ටියුනීසියාව
ඒ ටියුනීසියාව ගෝල 5 ට 2ක් ලෙස පරාජය කරමින්.
මෙහිදී ඒඩන් හසාඩ් බෙල්ජියම වෙනුවෙන් ගෝල 2ක් වාර්තා කළ අතර ඒ 6 වන හා 51 වන මිනිත්තු වලදීයි.
රොමෙලූ ලුකාකු 16 වන හා 45 වන මිනිත්තු වලදී ගෝල 2ක් ලබාගත් අතර තරගයේ අවසන් මිනිත්තුවේදී තවත් බෙල්ජියම් ක්‍රීඩකයකු ගෝලයක් වාර්තා කළා.
ටියුනීසියාව ලබාගත් ගෝල 2ක වාර්තාවූයේ 18 වන හා 90 වන මිනිත්තුවේදීයි.
මේ අතර බෙල්ජියමේ රොමෙලූ ලුකාකු ජාත්‍යන්තර තරගවලදී වැඩිම ගෝල රැස් කළ බෙල්ජියම් ක්‍රීඩකයා බවටද මෙහිදී පත්වුණා.

2018.06.22
26. සයිබීරියාව – ස්විස්ටර්ලන්තය – 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 26 වන තරගයෙන් ජය ලැබීමට ස්විස්ටර්ලන්තය සමත්වුණා.
ඒ ගෝල 2 ට 1ක් ලෙස සයිබීරියාව පරාජයට පත් කරමින්.
තරගයේ 5 වන මිනිත්තුවේදී සයිබිරියාව සිය ගෝලය වාර්තා කළ අතර ස්විස්ටර්ලන්තය සිය මුල් ගෝලය වාර්තා කළේ 52 වන මිනිත්තුවේදීයි.
එහෙත් අවසන් මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කළ ස්විස්ටර්ලන්තය තරගය ජයගත්තා.
මෙය 2017 වසරෙන් පසු ස්විස්ටර්ලන්තය සහභාගීවූ තරග 24 කින් ජය ලැබූ 17 වන තරගයයි.
අනෙක් තරගවලින් 6ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති අතර එරට පරාජයවී ඇත්තේ එක් තරගයක් පමණයි.

25. නයිජීරියාව – අයිස්ලන්තය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 25 වන තරගයෙන් ජය හිමි කර ගැනීමට නයිජීරියාව සමත්වුණා.
ඒ ගෝල 2 ට 0ක් ලෙස අයිස්ලන්තය පරාජය කරමින්.
මෙහිදී නයිජීරියාව වෙනුවෙන් අහමඩ් මුසා ගෝල 2ක් වාර්තා කළ අතර ඒ 49 වන හා 75 වන මිනිත්තු තුලදීයි.
එසේම 1994 වසරෙන් පසු නයිජීරියාව ගෝල 2කට වැඩි ප්‍රමාණයකින් තරගයක් ජයගත් පළමු අවස්ථාවද මෙයයි.
එසේම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ආරම්භක වටයේදී අයිස්ලන්තය තරගයක් පරාජයවූ මුල්ව අවස්ථාවද මෙය වනවා.

 

24. බ්‍රසීලය – කොස්ටාරිකාව 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 24 වන තරගයෙන් ජය හිමිකර ගැනීමට සුපිරි බ්‍රසීල කණ්ඩායම සමත්වුණා.
ඒ ගෝල 2 ට 0ක් ලෙස කොස්ටාරිකාව පරාජයට පත් කරමින්.
මෙහිදී බ්‍රසීලය වාර්තා කළ ගෝල දෙකම තරගයේ 90 වන මිනිත්තුව අවසානයේ වාර්තාවීම විශේෂත්වයක්.
එය බ්‍රසීලය තරගයක 90 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියකදී තරගයක් ජයගත් මුල්ම අවස්ථාවයි.
මෙහිදී සුපිරි ක්‍රීඩක නේමාර් තරගයේ අවසන් තත්ත්පර කිහිපයේදී බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

2018.06.21
23. ආර්ජන්ටිනාව – ක්‍රෝඒෂියාව –  
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 23 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
ඒ ප්‍රබල ආර්ජන්ටිනාව ගෝල 3 ට 0ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ දෙවන අර්ධයේ 53, 80 හා අවසන් මිනිත්තුවේදීයි ක්‍රොඒෂියාව සිය ගෝල වාර්තා කළේ.
මෙය 1958 වසරෙන් පසු ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික අධියරේදී ලද දරුණුතම පරාජයයි.
එසේම ක්‍රෝඒෂියාව දකුණු අමෙරිකානු රටකට එරෙහිව ලද පළමු ජයග්‍රහණයද මෙය වනවා.
මේ සමග ආර්ජන්ටිනාව ලෝක කුසලාන තරගාවලියේ පලමු වටයෙන්ම ඉවතට විසිවීමේ අවධානමක්ද මතුව තිබෙනවා.

22. ප්‍රංශය – පේරු –
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 22වන තරගයෙන් ජය වාර්තා කිරීමට ප්‍රබල ප්‍රංශය සමත් වුණා.
ඒ පේරු රාජ්‍යය ගෝල 1ට 0 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 34 වන මිනිත්තුවේදීයි ප්‍රංශය සිය ගෝලය වාර්තා කළේ.
ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි තුල දකුණු අමෙරිකානු රටවල් සමග පැවැති අවසත් තරග 8න් කිසිදු තරගයක් පරාජයවී නොතිබීමද විශේෂත්වයක්.
පේරු රාජ්‍යය අවසන් තරග 8ම පරාජයවී ඇති අතර එහිදී රැස්කර ඇත්තේ ගෝල 2ක් පමණයි.

21. ඔස්ටේ්‍රලියාව – ඩෙන්මාර්කය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 21 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ ඔස්ටේ්‍රලියාව හා ඩෙන්මාර්කය අතර තරගය ගෝල 1 ට 1 ක් ලෙස නිමාවීමත් සමගයි.
තරගයේ 7 වන මිනිත්තුවේදී ඩෙන්මාර්කය සිය පළමු ගෝලය වාර්තා කළා.
ඔස්ටේ්‍රලියාව සිය ගෝලය වාර්තා කළේ 38 වන මිනිත්තුවේදීයි.

2018.06.20
20. ඉරානය – ස්පාඤ්ඤය – 
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 20 වන තරගයෙන් ජය හිමිකර ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
ඒ ඉරානය ගෝල 1 ට 0ක් ලෙස පරදවමින්.
තරගයේ 54 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤය සිය ගෝලය වාර්තා කළා.
ඒ සුපිරි ක්රීඩක දියාගූ කොස්තා විසින්.

19. උරුගුවේ – සවුදි අරාබිය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 19 වන තරගයෙන් සවුදි අරාබිය පරාජය කරමින් ඒ කාණ්ඩයෙන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට උරුගුවේ රාජ්‍යය අද සමත්වුණා.
ඒ ගෝල 1ට 0ක් ලෙසයි.
තරගයේ 23 වන මිනිත්තුවේදී උරුගුවේ රාජ්‍යය පළමු ගෝලය වාර්තා කළා.
මෙම ජයග්‍රහණය සමග රුසියාව හා උරුගුවේ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන 2ට පත්වූ බැවින් එම රාජ්‍යයන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලද පලමු කණ්ඩායම් බවට පත්වුණා.
එමෙන්ම තරගයෙන් පරාජය වූ සවුදි අරාබියේ දෙවන වටයට පිවිසීමේ සිහිනයද මේ සමග බොදවී තිබෙනවා.
මෙය සවුදි අරාබිය ලෝක කුසාලන තරග 12කදී අඛණ්ඩව ලද 10 වන පරාජයයි.

18. පෘතුගාලය – මොරොක්කෝව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 17 වන තරගයෙන් ජය හිමි කර ගැනීමට ප්‍රබල පෘතුගාලය සමත්වුණා.
ඒ මොරොක්කෝව ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ වාර්තාවූ එකම ගෝලය වාර්තා කරන ලද්දේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින්.
ඒ අනුව පෘතුගාලය මීට පෙර සහභාගී වූ තරගයේ වාර්තා කළ ගෝල 3 ද සමගින් රොනාල්ඩෝ මෙවර තරගාවලියේ තරග 2කදී ගෝල 4ක් රැස් කරගෙන තිබෙනවා.
එසේම වෙනත් කිසිදු පෘතුගාල ක්‍රීඩකයෙක් මෙවර තවමත් ගෝලයක් වාර්තා කර නොතිබීමද විශේෂත්වයක් වනවා.
මේ අතර අද තරගයේ ගෝලයත් සමග යුරෝපයේ පාපන්දු ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවේ හිමිකරු බවටද රොනාල්ඩෝ පත්වුණා.
ඒ ගෝල 85 ක් රැස් කරමින්.

2018.06.19
17. රුසියාව – ඊජීප්තුව
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 17 වන තරගයෙන් තවත් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රුසියාව සමත්වුණා.
ඒ ඊජීප්තුව ගෝල 3 ට 1ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව සත්කාරක රුසියාව තරගාවලියේ ලද දෙවන ජයග්‍රහණය මෙයයි.
තරගයේ 47,59 හා 62 වන මිනිත්තුවලදී රුසියාව ගෝල වාර්තා කළා.
ඊජීප්තුව සිය ගෝලය වාර්තා කළේ 73 වන මිනිත්තුවේදීයි.

16. පෝලන්තය – සෙනගාලය
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 වන තරගය ජය ගැනීමට සෙනගාලය සමත්වුණා.
ඒ පෝලන්තය ගෝල 2 ට1 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 37 වන හා 60 වන මිනිත්තුවලදී සෙනගාලය ගෝල වාර්තා කළා.
පෝලන්තය සිය ගෝලය වාර්තා කළේ තරගය නිමාවීමට මිනිත්තු 3ක් තිබියදී්‍යි.
පෝලන්තය 1986 වසරෙන් පසු පාපන්දු ලෝක කුසාලන තරගාවලියකදී කිසිදු තරගයක් ජය ගෙන නොතිබීමද විශේෂත්වයක් වනවා.

15. කොලොම්බියාව – ජපානය
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 15 වන තරගයෙන් පෙරලිකාර ජය හිමිකර ගැනීමට ජපානය සමත්වුණා. ඒ ප්‍රබල කොලොම්බියානු පාපන්දු කණ්ඩායම ගෝල 2 ට 1ක් ලෙස පරාජය කරමින්.මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේදී ආසියාතික රටක් විසින් දකුණු අමෙරිකානු රටක් පරාජය කළ පළමු අවස්ථාවයි. තරගයේ 6 වන හා 73 වන මිනිත්තුවලදී ජපානය ගෝල වාර්තා කළ අතර කොලොම්බියාව සිය ගෝලය රැස් කළේ 39 වන මිනිත්තුවේදීයි.
මෙය මෙවර පාපන්දු ලෝක කුසලානයේදී ආසියාතික රටක් ලද මුල්ම ජයග්‍රහණයද වනවා.
2018.06.18
14. ටියුනීසියාව හා එංගලන්තය –  
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 14 වන තරගයෙන් ජය හිමිකර ගැනීමට එංගලන්තය සමත්වුණා.
ඒ ටියුනීසියාව ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 11 වන මිනිත්තුවේදී එංගලන්තය පළමු ගෝලය වාර්තා කළ අතර ටියුනීසියාව 35 වන මිනිත්තුවේදීයි ගෝලයක් වාර්තා කළේ.
එංගලන්තයේ ජයග්‍රාහී ගෝලය තරගයේ අවසන් මිනිත්තුවේදී වාර්තාවීම විශේෂත්වයක්.එංගලන්තය වෙනුවෙන් ගෝල දෙකම වාර්තා කළේ හැරී කේන් විසින්.
ටියුනීසියාව 1978 වසරෙන් පසු කිසිදු ලෝක කුසලාන තරගාවලියක තරගයක් ජයගෙන නොතිබීමද විශේෂත්වයක් වනවා.

13. බෙල්ජියම හා පැනමාව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 13 වන තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට බෙල්ජියම සමත්වුණා.
ඒ පැනමාව ගෝල 3ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 47,69 හා 75 වන මිනිත්තු වලදීයි මෙම ගෝල වාර්තා කෙරුනේ.
මෙහිදී බෙල්ජියම වෙනුවෙන් රොමෙලු ලුකාකු විනාඩි 6ක් තුල ගෝල 2ක් වාර්තා කිරීම කැපී පෙනුනා.

12. ස්වීඩනය හා දකුණු කොරියාව
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 12 වන තරගයෙන් ජය හිමිකර ගැනීමට ස්වීඩනය සමත්වුණා.
ඒ දකුණු කොරියාව ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 62 වන මිනිත්තුවේදීයි මෙම ගෝලය වාර්තාවුණේ.
මීට පෙර අවස්ථා 5කදීත් දකුණු කොරියාව හා ස්වීඩනය මුණ ගැසී තිබුණද කිසිදු අවස්ථාවක තරගයක් ජය ගැනීමට දකුණු කොරියාව සමත්ව තිබුණේ නැහැ.
මෙය 1958 වසරෙන් පසු ස්වීඩනය ලෝක කුසලාන තරගාවලියක මුල් කරගය ජයගත් පළමු අවස්ථාවයි.

2018.06.17
11. බ්‍රසීලය – ස්විස්ටර්ලන්තය
තරගය ගෝල 1ට 1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ ගෝල 1ට 1ක් ලෙසයි.
කරගයේ 20 වන මිනිත්තුවේදී බ්‍රසීලය පළමු ගෝලය රැස් කළ තර ස්විස්ටර්ලන්තය පළමු ගෝලය රැස් කළේ 50 වන මිනිත්තුවේදීයි.
මෙහිදී බ්‍රසීලයට තවත් ගෝල ලබා ගැනීමේ අවස්ථා රැසක්ම ගිලිහීයාම විශේෂත්වයක්.
මීට පෙර දෙරට අතර තරගවලදී බ්‍රසීලය තරග 3ක් හා ස්විස්ටර්ලන්තය තරග 2ක් ජයගෙන තිබුණා.

10. ජර්මනිය -මෙක්සිකෝව
තරගය ගෝල 1ට 0ක් ලෙස මෙක්සිකෝව ජය ගන්නා ලදී.
තරගයේ 35 වන මිනිත්තුවේදීයි මෙක්සිකෝව ගෝලය වාර්තා කළේ.
මීට පෙර පැවැති ලෝක කුසලාන 8කදීම අඛණ්ඩව පළමු තරගය ජය ගැනීමට ජර්මනිය සමත්ව සිටියා.
මෙක්සිකෝව අවසන් ලෝක කුසලාන 5 තුලම සිය පළමු තරගය පරාජයවී නොමැති අතර එය මෙවරද එසේම පවත්වා ගැනීමටයි ඔවුන් සමත්වුණේ.
කෙසේ වෙතත් මීට පෙර මෙක්සිකෝව හා ජර්මනිය අතර පාපන්දු තරග 11ක් පවත්වා තිබූ අතර ඉන් එක් තරගයක් පමණයි මෙක්සිකෝව ජය ගෙන තිබුණේ. ඉතිරි තරගවලින් 5ක් ජර්මනිය ජය ලබා තිබූ අතර අනෙක් තරග 5 සමවී තිබුණා.
09. කොස්ටාරිකා – සයිබීරියා
තරගය ගෝල 1ට 0ක් ලෙස සයිබීරියාව ජය ගන්නා ලදී.
මෙය 1998 වසරෙන් පසු සයිබීරියාව ලෝක කුසාලන තරගාවලියක තමන් සහභාගීවූ පලමු තරගය ජයගත් මුල්ම අවස්ථාවයි. තරගයේ වාර්තාවූ එකම ගෝලය 56 වන මිනිත්තුවේදී වාර්තාවුණා.
08. ක්‍රොඒෂියාව – නයිජීරියාව
තරගය ගෝල 2ට 0ක් ලෙස ක්‍රොඒෂියාව ජය ගන්නා ලදී.
මෙය 1998 වසරෙන් පසු ක්‍රොඒෂියාව ලෝක කුසාලන පාපන්දු තරගාවලියක තමන් සහභාගීවූ මුල් තරගය ජයගත් පළමු අවස්ථාවයි. එසේම මේ සමග නයිජීරියාව තමන් සහභාගී වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුල අවසන් තරග 7ම පරාජයට පත්ව තිබෙනවා. ක්‍රොඒෂියාව මෙම තරගයේ 32 වන හා 71 වන මිනිත්තු වලදීයි ගෝල වාර්තා කරනු ලැබුවේ.
2018.06.16
07. පේරු – ඩෙන්මාර්කය
තරගය ගෝල 1ට 0ක් ලෙස ඩෙන්මාර්කය ජය ගන්නා ලදී.
මෙහිදී තරගයේ වාර්තාවූ එකම ගෝලය ඩෙන්මාර්කය විසින් තරගයේ 59 වන මිනිත්තුවේදී වාර්තා කළා.
මෙහිදී හිමිවූ දඩුවම් පහරක් අසාර්ථක කර ගැනීමයි පේරු පිලේ පරාජයට මුල්වූයේ.පේරු රාජ්‍යය සිය අවසන් ලෝක කුසලාන පාපන්දු තරග 7 ම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්.
06. ආර්ජන්ටිනාව – අයිස්ලන්තය
තරගය ගෝල 1ට 1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගයේ 19 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාව සිය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මංගල ගෝලය වාර්තා කළා.
23 වන මිනිත්තුවේදීයි අයිස්ලන්තයෙන් ගෝලයක් වාර්තාවුණේ.
මෙය 1990 වසරෙන් පසු ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පලමු තරගය ජය නොගත් මුල්ම අවස්ථාවයි.
එසේම පලමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට ක්‍රීඩා කරන අයිස්ලන්තය පලමු තරගය පරාජය නොවුණු කණ්ඩායම් අතරට එක්ව සිටිනවා.
2002 වසරේදී අවසන් වරට එවන් දස්කමක් දක්වා තිබුණේ සෙනගාල් කණ්ඩායමයි.
05. ප්‍රංශය – ඔස්ටේ්‍රලියාව
ගෝල 2 ට 1ක් ලෙස ප්‍රංශය ජය ලැබීය.
තරගයේ 58 වන හා 80 වන මිනිත්තුවලදී ප්‍රංශයේ ගෝල වාර්තාවූ අතර ඔස්ටේ්‍රලියාව සිය ගෝලය වාර්තා කළේ 62 වන මිනිත්තුවේදීයි. මෙය 2006 වසරෙන් පසු ප්‍රංශ්‍ය ලෝක කුසලාන තරගාවලියක මුල් තරගය අඛණ්ඩව ජයගත් 4 වන අවස්ථාවයි.
ඔස්ටේ්‍රලියාව අවසන්වරට සහභාගීවූ ලෝක කුසලාන තරගාවලි 5 තුල මුල් තරගය පරාජයට පත්වූ 4 වන අවස්ථාවද මෙයයි.
2018.06.15
04 පෘතුගාලය හා ස්පාඤ්ඤය
ගෝල 3 ට 3ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරනු ලැබුවා.ඒ තරගයේ 4 වන 44වන හා 88 වන මිනිත්තුවලයි.
තරගය අවසන් මොහොත වන විට ස්පාඤ්ඤය ගෝල 3ට 2ක් ලෙස ඉදිරියෙන් සිටියද රොනාල්ඩෝ 3 වන ගෝලය වාර්තා කිරීම සමග තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
ස්පාඤ්ඤය වෙනුවෙන් දියාගෝ කොස්තා ගෝල 2ක් ලබාගත්තා.
03. මොරොක්කෝව හා ඉරානය
ගෝල 1 ට 0ක් ලෙස ඉරානය ජය ලැබීය.
එහිදී ඉරානය කිසිදු ගෝලයක් වාර්තා නොකළද මොරොක්කෝ ක්‍රීඩකයකු අතින් අත්වැරදීමකින් ඉරානයේ දැල තුලට පන්දුව යොමුවීම නිසා වාර්තාවූ ගෝලය 1ට 0ක් ලෙස ඉරානයේ ජය සහතික කරනු ලැබුවා.
මෙහිදී කෝණ පහරක් ඉරාන ක්‍රීඩකයකු විසින් එල්ල කළ අතර එය ගෝලය තුලට යාම වැලැක්වීමට මොරොක්කෝ ක්‍රීඩකයකු දැරූ උත්සාහයේදී ඔහුගේ හිසේ වැදී පන්දුව ගෝලය තුලට යොමුවුණා.
02. ඊජීප්තුව හා උරුගුවේ
ගෝල 1 ට 0ක් ලෙස උරුගුවේ ජය ලැබීය.
මෙය 1970 වසරෙන් පසු උරුගුවේ රාජ්‍යය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක තමන් සහභාගීවූ පළමු තරගය ජයගත් මුල්ම අවස්ථාවයි.
Soccer Football – World Cup – Group A – Egypt vs Uruguay – Ekaterinburg Arena, Yekaterinburg, Russia – June 15, 2018 Egypt’s Trezeguet in action with Uruguay’s Diego Godin REUTERS/Andrew Couldridge
2018.06.14
01. රුසියාව – සවුදි අරාබිය
ගෝල 5 ට 0ක් ලෙස රුසියාව ජය ලැබීය.
2018 පාපන්දු ලෝක කුසලානයට කණ්ඩායම් 32ක් කාණ්ඩ 8ක් යටතේ සුදුසුකම් ලබා සිටී.
ඔවුන්ගෙන් ජයග්‍රාහකයා හිමිකම් කියන්නේ මෙම කුසලානයටයි.
Top