You are here
Home > ආසන්න-පුවත් > TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු

TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු

TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන්  සභාවේ (TRC) නිලධාරින් විසින් මුද්‍රා තබා එහි උපකරණ ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි විරෝධය පල කර තිබෙනවා.
ඒ අනුව වහාම එම ආයතනයට එල්ල කරන බලපෑම් අත්හිටුවා මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ලෙසයි එම ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.
මේ ඊට අදාළ සම්පූර්ණ නිවේදනයයි.
TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන්  සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර   සිටිමු.
ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි  ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය  TRC නිළධාරින්  විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.
අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව  TRCවෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නෙවේ.ඒ අනුව ගත්කල  TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන්  සභාවේ නිළධාරීන් අවම සදාචාරයවත් පවත්වාගෙන යෑමට සමත් වි නැති අතර ඒ තරම් හදිසියේ වරද පටවා සම්ප්‍රේෂණාගාරයකට සීල් තැබීම පිටුපස අදිසි දේශපාලන හස්තයක ක්‍රියාත්මක වීමක් ඇති බවට සැකයක් ද ඒ තුළින්ම මතු වේ.
TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සaජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල  TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට  TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි අවධාරණයෙන් සඳහන් කරමු.
පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්,විවිධ් වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින්  TNLනාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.
කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.
ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ සaජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.
කැදවුම්කරු
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
Top