අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා තිබූ ඉන්දීය ණය පහසුකම යටතේ වානේ ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව රජය වහා කරුණු පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ගෑස්, ඉන්ධන, ඖෂධ, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එම සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එම දැනුම්දීම සිදුකළේය.
ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් අද කැඳවනු ලැබීය.
එහි දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් සියයට 30ක් වැය කොට වානේ ද්‍රව්‍ය ආනයනය කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා ද මෙය පිළිගෙන තිබෙන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා දී තිබූ ණය පහසුකමක් යොදාගෙන වානේ ද්‍රව්‍ය ආනයනය කිරීම අනුමත කළ නොහැකි බවත් මෙවැනි දේ ජනතාව අපේක්ෂා නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
එබැවින් මෙම කරුණ සම්බන්ධයෙන් රජය වහා අධිකරණයට කරුණු පැහැදිලි කළ යුතු බවද ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා කියාසිටියේය.
මෙහිදී රජය වෙනුවෙන් පෙනී සිටියි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.
එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් මැයි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ අතර එදින ආර්ථික අර්බුදය නිමාකිරීම සඳහා ගෙන තිබෙන පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.