අමාරුවෙන් ගොඩගත් රට මාසයකින් නැති කරලා/ ජේ සී අලවතුවල කියයි

ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළ පුද්ගලයින් විසින් රට යළිත් දැවැන්ත අර්බුධයකට ඇද දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.එම පිරිසේ නීති විරෝධී ක්‍රියාවන් අත්හිටුවීමට අද දිනයේදී අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවද ජේ සී අලවතුවල මහතා ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියා.

අද අපි පාර්ලිමේන්තුවේදී අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමේ යෝජනාවක් සම්මත කරගන්නවා. බහුතර ජන්දයෙන්. මොකද නීති විරෝධී අගමැතිවරයෙන් රටේ මුදල් මෙසේ වැය කිරීම නීති විරෝධී නිසා.

බලහත්කාරයෙන් ආණ්ඩුවක් අත්පත් කරගත් පිරිසක් විසින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරනවා. ඇත්තටම මේ ඉල්ලීම හාස්‍යජනක එකක්.ජනතාව විසින් වසර 5කට තෝරාගත් ආණ්ඩුවක් බලහත්කාරයෙන් අල්ලාගත් මේ කණ්ඩායම යළිත් ජනමතය පිළිබද අදහස් දැක්වීම ප්‍රයෝගික නැහැ. අපි ඕනෑම අවස්ථාවක ජනතාව ඉදිරියට යන්න ලෑස්තියි.අපි ඕනෑම මැතිවරණයකට ලෑස්තියි. නමුත් 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ජනතාව ලබාදුන් ජනවරමට මේ පුද්ගලයින් ගරැ කළ යුතුයි. අද මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ.
අස්ථාවර රටක් බවට මේ රට පත් කරලා. වසර තුනහමාරක් තුල ලෝකයේ ගෞරවණීය රටක් බවට අපි මේ රට පත් කළා. ජාත්‍යන්තර සබදතා තහවුරු කළා.

ජාත්‍යන්තර අපවාදවලින් රට මුදාගත්තා විතරක් නෙවෙයි මේ රටට අහිමිවුණු ජාත්‍යන්තර සහන පවා අපි ලබාගත්තා. මේ අදූරදර්ශී බල ලෝභී කිහිපදෙනකු විසින් අද යළිත් ලංකාව විනාශය කරා ගෙනයමින් තිබෙනවා.
මේක කොතනින්ද නතර කරන්න උත්සාහ කරන්නේ මේ පුද්ගලයන්.
මේක රටේ දෙකෝටියක ජීවිත පිළිබද බරපතල ප්‍රශ්නයක්.පාර්ලිමේන්තුවේ බහුතරය නැති අගමැති කෙනෙක්ට කොහොමවත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අද ආයෙත් මාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය අරඹලා.මේවා පරණ පුරුදු.උණ පුරුකෙ බලු වලිගෙ දැම්මට ඇද අරින්න බෑ වගේ පරණ දේවල් ඒ විදියටම කරනවා.ආයෙත් රටේ ජනතාවට හිමිවෙලා තියෙන්නේ බියය සැකයයි පමණයි.

ඒ නිසා මේ දේ තවදුරටත් ඉදිරියට ගෙනියන්න අපිට මේ බල ලෝභීන්ට ඉඩදෙන්න බෑ,
මේ අය අද කොච්චර බියෙන් ඉන්නවද කියනවානම් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. ඇයි ඒ. කතානායකට විරුද්ධවලු. නෑ ඇත්ත කතාව මේ අය බහුතරයක් නැති පිරිසක්. ඒ නිසා හැමදාමත් ඒ බව තහවුරු වීමට මේ අය බයයි. අපි මේ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ජනමතය ජයග්‍රහණය කරවලා.
ඒකට විරුද්ධවෙන්නේ හොරු විතරයි.අද මේ හොර කල්ලියක් තමන්ගේ වැරදිවලට දඩුවම් ලැබීම වලක්වන්නයි මේ සෙල්ලම කරන්නේ.මේ රටේ බුද්ධිමත් මිනිස්සු තීරණය කරයි මේ අයගේ ඉරණම මොකද්ද කියලා.