ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුව වෙත එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාකොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ දී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

පුවත යවන්න