
ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු භාරව සිටි ශාලාධිපතිවරයෙකුගේ සහ සහකාර ශාලාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා..
ඒ, අදාළ විභාග මධ්‍යස්ථානයේදී චිත්‍ර විෂයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුට එම විෂයට අදාළ දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රය ලබානොදීම හේතුවෙන්.
අදාළ විභාග ශාලාව තුළ චිත්‍ර විෂයට පෙනී සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණක් වන අතර එම සිසුන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ තමන්ට අදාළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස විභාග ශාලාවේ සිටි නිලධාරීන් ලබානොදුන් බවයි.
පළමු ප්‍රශ්නයට පිළිතුරු සපයා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන ලෙස විභාග ශාලාවේ සිටි ගුරුවරියකගෙන් ඉල්ලා සිටියද එම ප්‍රශ්න පත්‍රය නොලැබුණු බවටයි එම සිසුන් දෙදෙනා පැමිණිලි කර ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකින් පසු අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළා.