මාතර පොල්හේන්ගොඩ පදිංචි ශ්‍රියානි සායක්කාර, නන්දන අබේසිංහ යන මව්පියන්ට දාව උපන් රොෂාන් පිහිණීමට දස්කම් දක්වන්නේ කුඩා කල සිටය. සිය වැඩිමල් සොහොයුරිය හා බාල සොහොයුරිය සමග කුඩා කල පටන් මුහුදට ආසාවක් දැක්වූ රොෂාන්ගේ අරමුණ වූයේ පිහිනුම් ශූරයකු වන්නටය.
මව ඉඳිආප්ප තම්බා, පලාකොළ විකුණා උස්මහත් කළ රොෂාන් ගුවන් හමුදාවේ නිල ඇඳුමට ඇති ආසාව නිසා 2008 දී ගුවන් හමුදාවට බැඳුනේය. ඒ අවුරුදු 19දීය. නිවාඩුවට නිවසට පැමිණි පසුවත් නිවසට මීටර් 300ක් එහායින් වූ පොල්හේන වෙරළට ගොස් පිහිනීමේ පුරුද්දක් ඔහුට විය.
මම මීට අවුරුදු 10කට කලින් තමයි කවදා හරි ලෝක වාර්තාව කඩනවා කියලා හිතා ගත්තේ. ඒක එකපාරටම කරන්න බැරිවුණත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. මගේ පිහිනුම් කුසලතාව එන්න එන්න වැඩි කරගත්තා. මම ගුවන් හමුදාවේ පිහිනුම් උපදේශකයෙක් වෙනකම් මේ ගමන ආවා. ඊට පස්සේ තමයි ඉන්දියාවට පිහිනලා ලෝක වාර්තාව කඩන අභියෝගය භාර ගත්තේ.
ඒ මීට මාස අටකට පෙර සිටය. විවාහ දිවියට පත්ව සිටින රොෂාන්ට සිය බිරිය මනෝජි විජේරත්නගෙන්ද මව්පියන්ගෙන්ද ලැබුණේ දිරිමත් කිරීමකි. දෙදරු පියකු වූ ඔහු නිවාඩුවට තම සෙතුමි දියණියත්, අදිත පුතුත් හුරතල් කරන අතරේ පිහිනුම් සඳහා වැඩි වේලාවක් වෙන් කළේය.
‘ප්ලාස්ටික්, පොලිතින් සාගරයට එක්වීමට එරෙහිව මෙම වාර්තාව තබලා ලෝකයට පණිවුඩයක් දෙන්න මගේ අරමුණක් තිබුණා. ඉන්දියාවට පිහිනන්න කලින් පුහුණුවක් එක දිගට කරන්න ගුවන් හමුදාපතිතුමා ඇතුළු නිලධාරීන්ගේ අවසරය ලැබුණා.
තම ශරීර ශක්තිය ස්වාභාවික කෑම බීමවලින් පවත්වාගෙන යාම රොෂාන්ගේ අරමුණ විය.
අම්මා කොස්ඇට, කොස්, දෙල්, මඤ්ඤොක්කා, බතල තම්බලා දුන්නා. ඒවා තමයි මාස අටටම කෑවේ. පොල්හේනේ ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන පිහිනුම් උපදේශක කේ. යසරත්න හා අජන්ත මධුවත්ත කියන විශ්‍රාමික නාවිකයන් දෙන්නා මගේ පුහුණුකරුවන් වුණා.
රොෂාන්ගේ ශාරීරික අභ්‍යාස උපදේශක ලෙස ගුවන් හමුදාවෙන් වගකීම පවරා තිබුණේ සැරයන් ආර්.පී.එම්. චන්දනටය.
පොල්හේන වෙරළේ රාත්‍රිය පුරා පිහිනමින් සීතලට හුරුවන අතරේ එක්දිනක ගාතක තල්මසුන් දෙදෙනකුට ද රොෂාන් මුහුණ දුන්නේය.
එදා එකපාරටම මිනී කන තල්මසුන් මුහුදේ යට ඉඳන් මා දිහා බලන් ඉන්නවා දැක්කා. එයාලා මිනිස්සුන්ට ඇටෑක් කරනවා. ඉක්මනින් මම උපදේශකයින් ඉන්න තැනට පිහිනලා ගියා.
මෙවැනි අභියෝග මැද රොෂාන් පුහුණුවන මාස අටක කාලය උපරිම කැපකිරීමක් කළේ උණක්, හෙම්බිරිස්සාවක්වත් නොවැලඳෙන අයුරිනි. වාර්තාව සඳහා ඉදිරිපත් වීමට සූදානම් වූ රොෂාන්ට ගුවන් හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජය දැනුවත් කර ඉන්දීය සීමාවට පිහිනා ගොස් දනුෂ්කොඩිය දක්වා යාමට අවසර ලැබිණි.
කිලෝ මීටර් 59.3ක් ගෙවා මෙම වාර්තාව තැබීම රොෂාන්ට වූ අභියෝගය විය. අප්‍රේල් 10 වැනිදා අලුයම 2.30ට තලේමන්නාරමෙන් ඉන්දියාව බලා පිහිණීම ආරම්භ විය. ඔහුගේ සහායට මන්නාරමෙන් ට්‍රෝලර් යාත්‍රා දෙකක නැගි විනිශ්චයකරුවන් හා ජීවිතාරක්ෂක උපදේශකයෝද පිටත් වූහ.
කිලෝ මීටර් පහක් පැය දෙකකින් පිහිනා යාම මගේ ඉලක්කය වුණා. පළවැනි කිලේමීටර් පහ පැයයි විනාඩි 17න් ගිහිල්ලා තිබුණා. හැම කිලෝමීටර් පහකටම මට විනාඩි පහක රෙස්ට් එකක් තමයි තිබුණේ. ඒ වෙලාව තුළ තමයි සහායට යන බෝට්ටුවෙන් කෑම දෙන්නේ. කිසිම වේලාවක බෝට්ටුව අල්ලන්න බැහැ. මීටර් තුනක් දිග කෝටුවකින් නෙට් එකකට දාලා තමයි කෑම දුන්නේ. චොක්ලට්, කෙසෙල් ගෙඩි, පලතුරු කෑවා. කිලෝ මීටර් පහකට සැරයක් කෑම, බීම ගත්තා. රාත්‍රි කාලයේ දී සීතලට හුරුවෙන්න වේගයෙන් පිහිනලා ශරීර උණුසුම්ව තබා ගත්තා. ඉන්දියාවේ බෝඩර් එකට ඇතුළු වෙනකන් අපේ නාවික හමුදා යාත්‍රා සහායට ආවා. ඉන්දියන් බෝඩර් එකට ඇතුළු වෙද්දි එයාලගේ හුවර් ක්‍රාෆ්ට් හයක් පිළිගත්තා. එතැන ඉඳන් අපේ ට්‍රෝලරයක ශ්‍රී ලංකා ලෝක ජල ක්‍රීඩා සංගමයේ තුනක් ඉන්දියාවට යනකන් ගියා.
මම පැය දහයකුත් විනාඩි 37කදි දනුෂ්කොඩිවලට ළඟා වුණා. වෙලාව උදේ 10.30ට ඇති. දනුෂ්කොඩි වෙරළට ඉන්දිය මාධ්‍යවේදීන් හා සිවිල් වැසියන් විශාල පිරිසක් ඇවිත් හිටියා. වාර්තාවට අනුව මට කකුල් බිම තැබිය නොහැකි නිසා දනුෂ්කොඩිවලින් ආයේ හැරිලා ආවා. එයාලගේ මාධ්‍යවේදීන් බෝට්ටුවලින් ඇවිත් ෆොටෝ ගත්තා. ඉන්දියන් සීමාවේ දී ජෙල් ෆිෂ්ලාගේ ඇටෑක්වලටත් මුහුණ දුන්නා.
පනස් වසරකට පෙර ඉන්දියාවට පිහිනා යළි තලේමන්නාරමට එන ගමනේ ලෝක වාර්තාව තැබුවේ පැය පනස් නවයකුත් විනාඩි තුනකදීය. එම වාර්තාව බිඳ හෙළමින් රොෂාන් අබේසුන්දර පැය 28කුත් විනාඩි දහනවයකින් තම ඉලක්කය ජයගත්තේය. එම කාල සීමාව තුළ ඔහුට විවේකය සඳහා වෙන්වූයේ විනාඩි 120කි.
අප්‍රේල් 11 දා උදෑසන 9.00ට ඔහු ශ්‍රී ලංකාවට පා තබන්නේ එසේ නව වාර්තාවක් තබමිනි.
ත්‍රාසජනක අත්දැකීම් මැද අභියෝගය ජයගත් නායක ගුවන් භට රොෂාන් අබේසුන්දරට ඊයේ (15 වැනිදා) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඔහුගේ සුරුවිරුකම් අගයා සැරයන් ධුරයට උසස් කළේය.
තිස්ස රවින්ද්‍ර පෙරේරා