එජාප මන්ත්‍රී කණ්ඩායමක් රාජ්‍ය මාධ්‍යයට හරි පාර පෙන්වයි

මේ වන විට රට තුල ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවන බැවින් මහජන මුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍යය සමබරව ක්‍රියාත්මක කරවීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ සී අලවතුවල / ආශූ මාරසිංහ / මුජිබර් රහුමාන් / සංදීත් සමරසිංහ යන මහත්වරුන් හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර / රෝහිණී කවිරත්න යන මන්ත්‍රීවරියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
එම කණ්ඩායම ජාතික රූපවාහිනියේ සභාපතිවරයා හමුවීමට උත්සාහ කළද ඔවුන්ට දැනුම්දී තිබුණේ සභාපතිවරයා ආයතනය තුල නොමැති බවයි.
ඉන් පසු මන්ත්‍රී කණ්ඩායම ජනමාධ්‍ය අමාත්‍යාංශයට ගොස් ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා හමුවී රටේ ආණ්ඩුවක් නොමැති තත්ත්වයකදී පක්ෂග්‍රාහී පුවත් පල කිරීමේ ක්‍රියාවලිය පිළිබද පැහැදිලි කරදී තිබෙනවා.
ඒ අනුව අද සිට එම ගැටලුවට විසදුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පොරොන්දුවී ඇත්තේ.