කුසල්ට , ධනුෂ්කට වසර 2ක් ක්‍රිකට් තහනම් / දික්වැල්ලට වසර එකහමාරයි

එංගලන්ත සංචාරය අතරතුර ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙක බැගින් තහනමක් ද, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර එකහමාරක තහනමක් ද අද පනවා තිබෙනවා.
මෙම තහනමට අමතරව ක්‍රීඩකයන් තිදෙනාට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 ක් බැගින් දඩ නියම කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා සදහන් කළේ.
මෙම දඩ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනය කඩකිරීමේ වරදට ක්‍රීඩකයකුට නියම කළ ඉහළතම දඩ මුදලයි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පංච පුද්ගල විනය කමිටුව අද මෙම දඩුවම නිර්දේශ කළා.
මෙම නිර්දේශිත දඩුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට යොමු කිරීමෙන් පසුව එහි අනුමැතිය ලැබීමෙන් පසුව ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තහනමත් සමඟ එම ක්‍රීඩකයන් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කිසිඳු කාර්යයට සහභාගී වීම ද තහනම් වනවා.

පුවත යවන්න