කොරෝනා ආසාදිත දරුවන්ට ප්‍රතිකාර නිවසේදී ම

වයස අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හා මද රෝග ලක්ෂණ ඇති දරුවන් ද වෛද්‍ය නිරීක්ෂණය සඳහා යොමුකළ හැකි බව වෛද්‍යවරයා සදහන් කළා.

එම ප්‍රතිකාර ක්‍රමවේදයට යටත්වන දරුවන්ට නිධන්ගත රෝග හෝ දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබාගන්නා රෝගයන් නොතිබිය යුතු බව ද වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසුවා.

කොවිඩ් ආසාදිත දරුවන් සීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙලෙස නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ ව්‍යාප්තියක් ආරම්භ කළ බවත් එය රට පුරා ක්‍රියාත්මක බවත් වෛද්‍යවරයා සදහන් කළා.

නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ දී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙක් නිරන්තරයෙන් ළඟ සිටිය යුතු බවත්, දුරකථන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන බැවින් එයට අදාළ පහසුකම් ද සැපයිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කළා.

එවැනි කාරණා සම්පූර්ණ කර ඇති කොවිඩ් ආසාදිත දරුවන් ට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයා සම්බන්ධ කර ගනිමින් එම පහසුකම ලබාගත හැකියි.

කොවිඩ් ආසාදිත වු දරුවන් ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම් සඳහා 1390 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එයින් අදාළ උපදෙස් ලබාගත හැකියි.

පුවත යවන්න