මෙරට කොරෝනා ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය පිළිබද ජාත්‍යන්තර ඉස්ලාමීය සහයෝගිතා ආයතනයට නිල වශයෙන් දැන්වීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
ජාත්‍යන්තර ඉස්ලාමීය සහයෝගිතා ආයතනයේ ලේකම් යූසුෆ් අල් ඔතයිමීන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී අදහස් දක්වමින් කියා සිටියේ ,කොරෝනා මරණ භූමදානයට අවසර නොදීම හරහා මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතීන් කඩව ඇති බවයි.
ඒ අනුව එම මරණ භූමදානයට අවසර දිය යුතු බවද ඔහු අවධාරණය කර තිබුණා.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් අතරින් 13ක් ම ජාත්‍යන්තර ඉස්ලාමීය සහයෝගිතා ආයතනයට ඇතුලත්.
ඒ අනුව ලංකාව සම්බන්ධ යෝජනාව පරාජය කිරීම සඳහා එම රටවල සහාය අතිශය වැදගත් වනවා.